Friday, May 17, 2024

General line - 0115112241

සෞදියේ දේශ සීමා ආරක්ෂාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්




සෞදි අරාබිය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඔවුන් අනාවරණ කර ඇත්තේ සෞදියේ දේශ සීමා ආරක්ෂකයින් සංක්‍රමණිකයින්ට පුපුරන ද්‍රව්‍ය අඩංගු ආයුධ සහ අවි මගින් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

ඒ අනුව යේමනය හරහා සිය රටට ඇතුළු වීමට උත්සහ කළ ඉතියෝපියානු සංක්‍රමණිකයින්ට සෞදි දේශසීමා ආරක්ෂකයින් එවැනි අවි මගින් ප්‍රහාර එල්ල කර ඇති බව හියුමන් රයිට්ස් වොච් අනාවරණ කරනවා.

සෞදිය ඉකුත් වසරේ සිය ඉතියෝපියානු සංක්‍රමණිකයින් සිය ගණනක් එලෙස ඝාතනය කර ඇති බවයි හියුමන් රයිට්ස් වොච් අනාවරණ කර ඇත්තේ.

ජාත්‍යන්තරය හමුවේ සිය ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා සෞදිය බිලියන ගණනින් මුදල් වැය කලද මෙවැනි සිදුවීම් නොසලකා හැරිය යුතු නොමැති බව ද එම සංවිධානය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් සෞදිය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉකුත් වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවක් මගින් ද අනාවරණ කර තිබුණේ සෞදි අරාබියේ ආරක්ෂක හමුදා විසින් දේශසීමාවලදී එල්ල කළ කාලතුවක්කු හා ෂෙල් වෙඩි ප්‍රහාර මෙන්ම කුඩා අවි ප්‍රහාර හමුවේ ආසන්න වශයෙන් සංක්‍රමණිකයන් 430 දෙනෙකු පමණ මියගොස් ඇති බව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා