Wednesday, May 15, 2024

General line - 0115112241

ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්. 500 කට වැඩි පිරිසක් මියයයි (VIDEO)




ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පිහිටි රෝහලකට ගුවන් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ප්‍රහාරය හමුවේ පලස්තීනුවන් 500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා එල්ල කළා. විදෙස් මාධ්‍ය පවසන පරිදි ප්‍රහාරයත් සමඟ රෝහල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී තිබෙනවා.

කෙසේවෙතත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ එම ප්‍රහාරය තමන් එල්ල නොකළ බවයි.

වෙනත් කණ්ඩායමක් විසින් එල්ල කළ රොකට් ප්‍රහාරයක් එලෙස අත්වැරදීමකින් රෝහලට එල්ලවන්නට ඇතැයි ඊශ්‍රායලය සඳහන් කරනවා.

මෙවන් පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද ඊශ්‍රායලයට පැමිණීමට නියමිතයි.

එහෙත් අමෙරිකානු ජනාධිපතිවරයා සහ අරාබි නායකයින් අතර ජෝර්දානයේ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුව අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

මේ අතර හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් තිබෙනවා.

ඒ හමුවේ ගාසා තීරයේ වෙසෙන සාමාන්‍ය වැසියන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයේ දැනුම් දීම පරිදි ගාසා වැසියන් එහි උතුරු ප්‍රදේශයෙන් දකුණු ප්‍රදේශයට පලා යමින් සිටින අතර එවන් පසුබිමක් තුළ ඊශ්‍රායලය ගාසාහි දකුණු ප්‍රදේශයට ද ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ඒ හමුවේ ගාසා තීරය තුළ සිවිල් වැසියන් ලක්ෂ 6 ක් පමණ සිය වාසස්ථානවලින් පළා ගොස් උන්හිටිතැන් අහිමිව සිටින බවයි වාර්තා වන්නේ. ඇතැම් නිවාසවල පුද්ගලයින් 90 දෙනෙකු පමණ ආරක්ෂාව පතා එක් රැස්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේවනවිට මියගොස් ඇති ගාසා වැසියන් සංඛ්‍යාව 3,000 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 12,500 කට අධික බවයි වාර්තා වන්නේ.

තවත් දහසකට අධික පිරිසක් කඩා වැටුනු ගොඩනැගිලි සුන්බුන් අතර සිටින බවට විශ්වාස කෙරෙනවා.

එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේවනවිට මියගොස් ඇති ගාසා වැසියන්ගෙන් තුනෙන් එකක් පමණ ළමුන් බව ද ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කළා.