Tuesday, May 14, 2024

General line - 0115112241

ගාසා අර්බුදය දිග්ගැස්සෙයි - අරාබි රටවලින් ඊශ්‍රායලයට ප්‍රබල විරෝධයක්




ගාසා තීරයේ පිහිටි රෝහලකට එල්ල වූ රොකට් ප්‍රහාරය හමුවේ ගාසා අර්බුධය තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ ගැටුම් විසඳීම සඳහා කඩිනම් විසඳුමක් ඉදිරිපත් නොකලහොත් ගාසා අර්බුධය මැදපෙරදිග කලාපය පුරා පැතිර යනු ඇති බවයි.

ලෝකයම කම්පාවට පත් කරමින් ගාසාහි රෝහලකට එල්ල වූ  ප්‍රහාරයෙන් මියගොස් ඇති බවට තහවුරු කර ඇති සංඛ්‍යාව 500 ඉක්මවනවා.

තවත් 1,000 කට අධික පිරිසක් විනාශ වූ රෝහලේ සුන්බුන් අතර සිරවී සිටින බවයි පැවසෙන්නේ.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බහුතරයක් කුඩා ළමුන් හා කාන්තාවන්  වන බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

අදාල ප්‍රහාරයෙන් එලෙස වැඩි පිරිසක් මියයාමට හේතුවී ඇත්තේ එම රෝහල තුළ තුවාලකරුවන් මෙන්ම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට බියෙන් පළා යන බොහෝ පිරිසක් ආරක්ෂාව පතා රැඳී සිටීමයි.

පලස්තීනයේ දේවස්ථානයකින් ලබාදෙන ආධාර මඟින් එය පවත්වාගෙන ගොස් ඇති බැවින් බොහෝ පිරිසක් එහි රැකවරණය ලබා ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානය වගකිම ඊශ්‍රායලය භාර ගතයුතු බව පැවසුවත් ඊශ්‍රායලය පවසන්නේ රොකට් ප්‍රහාරය එල්ල කර ඇත්තේ පලස්තීන සටන්කාමීන් කණ්ඩායමක් බවයි.

ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට අරාබි රටවල් රැසකින් ඊශ්‍රායලයට ප්‍රබල විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ තුර්කියේ සහ ජෝර්දානයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාල ඉදිරිපිට විරෝධතා පැවැත්වෙන බවයි.

එමෙන්ම ඉරානයේ පිහිටි බි්‍රතාන්‍ය සහ ප්‍රංශ තානාපති කාර්යාල ඉදිරිපිට ද ප්‍රහාරයට එරෙහිව විරෝධතා පැවැත්වෙනවා.

බොහෝ පිරිසක් ඊශ්‍රායලයට පක්ෂපාතී බටහිර සහ යුරෝපානු රටවලට ද ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය පදනම් කර ගන්මින්  විරෝධය පල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රහාරයත් සමග අරාබි රටවල් රැසකින් ඊශ්‍රායලයට ප්‍රභල විරෝධයක් ගොඩනැගෙමින් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කලා.

ඒ අනුව සෞදි අරාබිය, ජෝර්දානය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරාකය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රහාරය දැඩිව හෙලා දකින බවයි.

ප්‍රහාරය යුධ අපරාධයක් බවයි එම රටවල් පවසන්නේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමග ජෝර්දානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් ද අවලංගු කිරීමටයි අරාබි නායකයින් තීරණය කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ගාසාහි රෝහලට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙලා දැක තිබෙනවා.