Tuesday, May 14, 2024

General line - 0115112241

ඊශ්‍රායල් විරෝධය මැද අමෙරිකා - ඊජිප්තු ආධාර ගාසා තීරයට




ගාසා තීරයේ ජීවත් වන ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට ඊජිප්තුව සහ අමෙරිකාව එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඊජිප්තු ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 කට ගාසා තීරයට ඇතුලුවීමට සිය දේශසීමා විවෘත කිරීමටයි. අමෙරිකානු ජනාධිපතිවරයාද ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයට අවශ්‍ය සහන රැගත් නෞකාවක් හෙට පිටත්වන බවයි.

ඊජිප්තුව හා අමෙරිකාව මේ බව ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානය අතට ආධාර නොලැබෙන බවට තහවුරු වන තෙක් ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීමට ඉඩ නොදෙන බවට ප්‍රකාශ කර ඇති පසුබිමකයි.


යුධ ගැටුම් හේතුවෙන් ජීවිත අවධානමකට මුහුණ දී සිටින ගාසා වැසියන්ගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ ඊජිප්තුවේ රෆා දේශසීමාවයි. ඊට හේතුව වන්නේ ගාසා තීරය තුළ පිහිටි ඊශ්‍රායලයට අයත් නොවන එකම දේශ සීමාව වන්නේ ඊජිප්තුවේ රෆා දේශසීමාව වන බැවින්.


ගාසා තීරය උතුරින් සහ නැගෙනහිරින් ඊශ්‍රායලයට මායිම් වනවා. ඒ හමුවේ ගාසා වැසියන්ට පලා යාමට එම දේශසීමා විවෘත වන්නේ නැහැ. ගාසා තීරයට බටහිරින් පවතින්නේ මධ්‍යධරණී මුහුදයි.

එබැවින් යුද්ධයට බියෙන් පලා යන ගාසා වැසියන් දහස් ගණනක් ඊජිප්තුවේ රෆා දේශසීමාව ආසන්නයේ රැඳී සිටිනවා.


එම දේශසීමාව විවෘත කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිය මතය ප්‍රකාශ නොකිරීම හමුවේ ඊජිප්තුව මෙතෙක් එම දේශසීමාව විවෘත කර නැහැ.

ඊශ්‍රායලය ගාසා තීරයට සපයන ආහාර, ජලය, ඉන්ධන සහ විදුලිය අත්හිටුවීම හමුවේ ගාසා තීරයේ සිටින වැසියන්ට මේවනවිට එවැනි කිසිදු පහසුකමක් නැහැ.

එබැවින් රතු කුරුස සංවිධානයේ මැදිහත්වීම මත මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක් පමණ ඊජිප්තු දේශසීමාවේ දින කිහිපයක සිට රඳවා තබා තිබෙනවා. ඒ, එම ට්‍රක් රථ සඳහා ගාසා තීරයට ඇතුළුවීමට ඊජිප්තුව සිය දේශසීමාව විවෘත කරන තෙක්.


කෙසේවෙතත් ඊශ්‍රායලයට පැමිණි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊජිප්තුවෙන් ඉල්ලා සිටියේ ආධාර රැගෙන යාම සඳහා දේශසීමාව විවෘත කරන ලෙසයි.

ඒ අනුවයි ආධාර රැගත් ට්‍රක් රථ සඳහා පමණක් දේශසීමාව විවෘත කිරීමට ඊජිප්තු ජනාධිපති ජෙනරාල් අබ්දෙල් ෆටා අල් සිසී තීරණය කර ඇත්තේ. එලෙස දේශසීමාව විවෘත කෙරෙන්නේ හෙට දිනයේදී වන අතර ගාසා තීරයේ සිටින පලස්තීනුවන්ට ඊජිප්තුවට ඇතුළු වීමට මෙහිදී අවසර හිමි නොවන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවේදී පලස්තීනුවන් රට තුළට ඇතුළු කර ගනිමින් ඊශ්‍රායලය සමග අර්බුධයක් නිර්මාණය කර ගැනීමට ඊජිප්තුව සූදානම් නොමැති බවයි ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ.

ඊශ්‍රායලය විසින් ඊජිප්තුවේ ගාසා දේශසීමාවට ද රොකට් ප්‍රහාර එල්ල කල ඇති අතර ඒ හමුවේ දේශසීමාවට ආසන්න මාර්ග රැසක් ප්‍රතිසංස්කරණය කිරීමට ඊජිප්තුවට සිදුව තිබෙනවා. හමාස් සටන්කාමීන් වෙත සැපයුම් නොලැබෙන තාක් කල් ආධාර බෙදාහැරීම වළක්වන්නේ නැති බවයි ඊශ්‍රායලය ද පවසා ඇත්තේ.