Tuesday, May 14, 2024

General line - 0115112241

විදේශ රටවල සිටින සිය පුරවැසියන් සඳහා අමෙරිකාවෙන් විශේෂ දැනුම්දීමක්




විදේශ රටවල සිටින සිය පුරවැසියන් සඳහා අමෙරිකාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්.

එහි දැක්වෙන්නේ අමෙරිකානු පුරවැසියන්ට එරෙහිව විවිධ ස්ථානවලදී ත්‍රස්තවාදී ප්‍රහාර, උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සිදුකළ හැකි බවයි. 


මේ අතර ලෙබනනයෙන් පිටව යන ලෙස අමෙරිකාව, බි්‍රතාන්‍ය හා ජර්මනිය සිය පුරවැසියන්ට දැනුම්දී තිබෙනවා. මීට පෙර අමෙරිකාව සහ බි්‍රතාන්‍ය සිය පුරවැසියන්ට දැනුම් දුන්නේ ලෙබනනයේ සංචාරය නොකරන ලෙසයි.

එහෙත් බේරූට්හි පිහිටි අමෙරිකානු, බි්‍රතාන්‍ය, කැනේඩියානු සහ ජර්මානු තානාපති කාර්යාල මේවනවිට ලෙබනනයේ සිටින සිය පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ එරටින් පිටව යන ලෙසයි.

ගාසාහි පිහිටි රෝහලකට එල්ලවූ මිසයිල ප්‍රහාරයෙන් අනතුරුව ලෙබනනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැති අතර විරෝධතාකරුවන් උත්සහ කළේ තානාපති කාර්යාලයට කඩා වැදීමටයි. එහෙත් ආරක්ෂක අංශ එය ව්‍යර්ථ කර තිබුණා.


මේවනවිට ඊශ්‍රායලයට සහය පළකරන අමෙරිකාව සහ බටහිර රටවලට එරෙහිව මැදපෙරදිග රටවල පවතින්නේ දැඩි විරෝධයක්.

එබැවින් වාණිජ ගුවන් සේවා විකල්පයන් පවතින අතරතුර ලෙබනනයෙන් පිටව යන ලෙසත්, විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවලින් වැළකී සිටිය යුතු බවත් අමෙරිකාව, බි්‍රතාන්‍යයේ, කැනඩාවේ සහ ජර්මනියේ සිටින සිය පුරවැසියන්ට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.


මේ අතර සෞදි අරාබිය ද ලෙබනනයේ සිටින සිය පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ වහාම එරටින් පිටවන ලෙසයි. ඊට අමතරව කුවේටය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඔස්ටේ්‍රලියාව ද ලෙබනනයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.


මේ අතර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුධ ගැටුම් හමුවේ ඊශ්‍රායල හා ලෙබනන් දේශසීමාව ද උණුසුම් වී තිබෙනවා. ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය, ඊශ්‍රායලයට මායිම් වන එරට දකුණු ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ද ලෙබනනයේ දකුණු දේශසීමාව ආසන්න ප්‍රදේශවලට අඛණ්ඩව රොකට් සහ මෝටාර් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. දෙපාර්ශවයේ ප්‍රහාර හමුවේ ලෙබනනයේ දකුණු දේශසීමාව ආසන්නයේ පිහිටි ගම්මාන රැසක ජනතාව එම ප්‍රදේශවලින් පළාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.