Tuesday, May 14, 2024

General line - 0115112241

ගාසා තීරයේ ආහාර, ජලය, ඖෂධ අවසන් අදියරේ




යුධ ගැටුම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගාසා වැසියන්ට අවශ්‍ය ආධාර රැගත් ට්‍රක් රථ තවදුරටත් ඊජිප්තුවේ රෆා දේශසීමාව ආසන්නයේ සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිය ඉල්ලීම අනුව ඊජිප්තුව අද එම දේශසීමාව විවෘත කරනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා. එහෙත් ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ රෆා දේශසීමාව අදත් විවෘත නොවනු ඇති බවයි.


ඊශ්‍රායලය එල්ල කල ගුවන් ප්‍රහාර හමුවේ ඒ ආසන්න මාර්ග විනාශ වී ඇති බැවින් එම මාර්ග පිළිසකර කිරීමට ද ඊජිප්තුවට සිදුව ඇතැයි වාර්තා වනවා. ඒ අනුව එළඹෙන සති අන්තයේදී එම දේශසීමාව විවෘත කෙරෙනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.


මේ අතර ගාසා තීරයේ වෙසෙන ජනතාව සඳහා අවශ්‍ය ආහාර, ජලය සහ ඖෂධ අවසන් වෙමින් පවතින බවත්, එම ජනතාව එවැනි ආධාර අපේක්ෂාවෙන් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ගාසා හි පිහිටි ප්‍රධාන රෝහලට අවශ්‍ය විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ඉන්ධන පවතින්නේ තවත් පැය 24 ක කාලයක් සඳහා පමණක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස විදුලි සැපයුම විසන්ධි වුවහොත් රෝගීන් රැසක් මියයනු ඇති බවත් වෛද්‍යවරුන් පවසනවා.


මේ අතර ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඊශ්‍රායලය සහ යුක්රේනයට සහය පල කරන ලෙසයි.


ත්‍රස්තවාදීන් වන හමාස් සංවිධානයට සහ කුරිරි නායකයෙකු වන ව්ලැදිමීර් පුටින්ට ජය ගැනීමට තමන් ඉඩ නොතබන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එහිදී බයිඩ්න් විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව හමාස් සංවිධානයට සමාන කිරීම ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩිව කතාබහට ලක්ව තිබෙනවා.


එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එහිදී කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලයට සහ යුක්‍රේනය ආධාර සැපයීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන මුදා හරින ලෙසයි.

එම මුදල අමෙරිකානු ඩොලර් බිලියන 100 ක් පමණ වන බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය තවමත් අපොහොසත් වී ඇති බැවින් ආධාර අමෙරිකාව ආධාර මුදා හරින්නේ කෙසේදැයි ජාත්‍යන්තර විචාරකයන් විමසා සිටිනවා.