Tuesday, May 14, 2024

General line - 0115112241

 ගාසා යුද්ධය ගැන අමෙරිකානු ජනපතිගේ ප්‍රකාශයකින් ධවල මන්දිරය අපහසුතාවට




ගාසා යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ධවල මන්දිරය දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදු කර තිබුණේ ඉකුත් දා සිදු කෙරුණු සිය ඊශ්‍රායල සංචාරය නිමා කරමින් යලි අමෙරිකාව බලා පැමිණීමට ගුවන් යානය වෙත ගොඩවන අවස්ථාවේදීයි.


එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ජනාධිපතිවරයාගෙන් විසින් විමසා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් පිටතට එන තෙක් ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණයක් ප්‍රමාද කළ යුතු ද යන්නයි.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා ”ඔව්” යනුවෙන් පිළිතුරු ලබා දී තිබුණා. එහෙත් ධවල මන්දිරය පවසන්නේ අමෙරිකානු ජනාධිපතිවරයා එලෙස පිළිතුරු ලබා දී ඇත්තේ ඔහුට මාධ්‍යවේදියා නැගූ ප්‍රශනය නිවැරදිව නොඇසුනු පසුබිමක බවයි.


ජනාධිපතිවරයා සිටියේ මාධ්‍යවේදියාට බොහෝ දුරස්ව බැවින් ඔහුට සම්පූර්ණ ප්‍රශ්නය ඇසී නොමැති බවත්, ජනාධිපතිවරයාට ඇසී ඇත්තේ තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු දැකීමට ඔබ කැමතිද? යනුවෙන් බවත් ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂ බෙන් ලාබෝල්ට් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර අමෙරිකාව ද මේ වනවිට ගාසා යුද්ධයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වී සිටින බව ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.

ඊට හේතු වී ඇත්තේ යේමනයේ හූදි කැරළිකරුවන් විසින් ඊශ්‍රායලය වෙත එල්ල කළ මිසයිල ප්‍රහාර 03 අමෙරිකානු යුධ නෞකාවක් මගින් සාර්ථකව ව්‍යාර්ථ කිරීමයි.

රතු මුහුදේ උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගත කර තිබූ අමෙරිකානු යුධ නෞකාවක් මගින් එම ප්‍රහාර ව්‍යර්ථ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යේමනයේ හූදි කැරලිකරුවන් මෙහෙයවීම, මූල්‍ය ආධාර සැපයීම සහ යුධ ආධාර සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ඉරානයටයි.