Tuesday, May 14, 2024

General line - 0115112241

අතිරේක සෙබළුන් මැදපෙරදිගට - අමෙරිකාවෙන් ඉරානයටත් අනතුරු ඇඟවීමක්




ඊශ්‍රායල් - හමාස් ගැටුම් මැද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉරාන ආධ්‍යාත්මක නායක අයතුල්ලා අල් කමේනි වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ, මැදපෙරදිග කලාපයේ සිටින අමෙරිකානුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඉරාන නායකයාට අමෙරිකානු ජනාධිපතිවරයා සෘජු පණිවුඩයක් යොමුකර ඇති බවට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔහු අනාවරණය කර නැහැ. 

මේ අතරතුර පෙන්ටගනය පවසන්නේ අතිරේක හමුදා සාමාජිකයින් 900 ක් මැදපෙරදිග කලාපයට යොමුකරන බවයි. ඒ, අමෙහරිකානු නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහායි.

පසුගිය සතිය තුළ පමණක් අමෙරිකාව විසින් ඉරාකියේ සහ සිරියාවේ ප්‍රහාර 16 ක් සිදුකර ඇති බවද පෙන්ටගනය තහවුරු කර තිබෙනවා.


මේ අතර ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අද රැස්වීමට නියමිතයි. ක්ෂණික සටන් විරාමයක් වෙනුවෙන් එහිදී ඡන්දයක් ද පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල් සහ හමාස් යුද්ධය සති 3 ක පමණ කාලයක් පැවතිය ද ඊට මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙතෙක් හැකිවී නැහැ. පලස්තීනයේ සිටින ජනතාවට ආධාර ලබාදීමේ කටයුතු ද තවමත් පවතින්නේ දැඩි ගැටළුවකයි.