Wednesday, May 15, 2024

General line - 0115112241

ඊශ්‍රායල හමුදාව ගාසා නගරයට ඇතුළු විමේ සූදානමක්




ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට අද මාසයක් සම්පූර්ණ වනවා. එම ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400 දෙනෙකු මිය ගිය අතර හමාස් සටන්කාමීන් විසින් පැහැර ගෙන ගිය පිරිස 240කට අධිකයි.

අනතුරුව ඊශ්‍රායලයද මේ මොහොත දක්වා අඛණ්ඩව ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඒ හමුවේ ගාසා තීරයේ පුද්ගලයින් 10,000කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර ළමුන් 4,100 දෙනෙකු මිය ගිය පිරිස අතර වනවා. 


මේ අතර අමෙරිකානු පුවත් සේවයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්්‍යාහු පැවසුවේ සටන් අවසන් වූ පසු ගාසා තීරයේ සමස්ත ආරක්ෂාව ඊශ්‍රායලය විසින් දරන බවයි.

විදෙස් මාධ්‍ය පවසන පරිදි ගාසා නගරය ඇතුළු ගාසා තීරයෙන් අඩක පමණ කොටසක් මේවනවිටත් ඊශ්‍රායල හමුදාව විසින් වට කර තිබෙනවා.

ඒ අනුව, ඉදිරි පැය 48 ගාසා තීරයට අතිශය තිරණාත්මක බවත් එම කාලය ඇතුළත ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ඇතුළු වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.


දිනෙන් දින ඉහළ යන පුද්ගල මරණ හමුවේ ජාත්‍යන්තරයෙන් සටන් විරාමයක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් වුවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු මෙතෙක් ඒ සඳහා එකඟතාව පළ කර නැහැ.

කෙසේවෙතත් මේවනවිට ඔහු පවසන්නේ හමාස් සටන්කාමීන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මානුශීය විරාමයක් මඟින් පිටතට පැමිණිමට ඉඩ ලබා දිය හැකි බවයි.