Tuesday, May 14, 2024

General line - 0115112241

හමාස් නායකයා ගාසා හි උමගක සිරවෙයි




ගාසා නගරය වට කර සිටින ඊශ්‍රායල හමුදාව මේවනවිට හමාස් සංවිධානයේ නායකයින් සැගව සිටින උමං පුපුරවා හරිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව මේවනවිටත් එම හමුදාව ගාසා තීරයේ පිහිටි උමං මාර්ග 130 ක් පමණ ප්‍රහාර එල්ල කර පුපුරවා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

හමාස් සටන්කාමීන් මේවනවිට උමං තුළ සැගව සිටින බවත් එම උමං මාර්ග ඉලක්ක කර ප්‍රහාර කිරීම සැලසුම් සකස් කර ඇති බවත් ඊශ්‍රායල හමුදාව පැවසුවා.


මේ අතර ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ ගාසා තීරයට ඇතුළු වී ගාසා නගරය වට කර සිටින ඊශ්‍රායල හමුදාව මේ වනවිට එහි පිහිටා ඇති උමං මාර්ගවල පිවිසුම් ද වටලා ඇති බවයි.  

ඒ අනුව හමාස් සංවිධානයේ ගාසා හි නායකයා ලෙස හැඳින්වෙන යාහ්යා සින්වර් උමගක් තුළ සිරවී සිටින බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ. ඔහුට ඉන් පිටතට පැමිණීමට නොහැකි වන සේ ඊශ්‍රායල හමුදාව එම උමග වටලා ඇති බව ද සඳහන්.

මේ මොහොතේ ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි ලෙස හමාස් නායකයා ශක්තිමත් නොමැති බවත්, ඔහු එම උමග තුළ හුදෙකලාව සිටින බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඊශ්‍රායලයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ගාසා නගරය වට කර සිටින ඊශ්‍රායල හමුදාවට ඊට ඇතුළු වීම සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙතෙක් අවසර ලබා දී නොමැති බව ද සඳහන්.