Tuesday, May 14, 2024

General line - 0115112241

ඊශ්‍රායලය දිනකට පැය 04 ක් අවි නිහඬ කරයි




දින ගණනක් තිස්සේ ගිනි ඇවිලෙන ගාසා තීරයට තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් එම සටන් විරාමය ද ක්‍රියාත්මක වන්නේ සෑම දිනකම පැය 04 ක් පමණයි.

ඒ, ගාසා තීරයේ සිටින සාමාන්‍ය වැසියන්ට ගාසා තීරය අතහැර පළායාමට පහසුකම් සැපයීමේ අරමුණින්. ඒ අනුව ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිය මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇතැයි අමෙරිකාව පවසා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ තාවකාලික සටන් විරාමය හමුවේ ගාසා තීරයට වැඩි වශයෙන් ආධාර ලබාදීමට සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිය හැකි බවයි.  


ඊයේ දිනයේ ද ගාසා තීරයේ දරුණු ගැටුම් වාර්තාවී තිබෙනවා. ගාසා නගරයේ ප්‍රධාන රෝහල් දෙකක් ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි ගැටුම් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා  කළේ. තවමත් කිසිදු නතර වීමක් නොමැති ගාසා ගැටුම් ආරම්භ වූයේ ඉකුත් ඔක්තොම්බර් 07 වනදා සිටයි.