Wednesday, May 15, 2024

General line - 0115112241

චීනයෙන් යළි අභිරහස් වෛරසයක් - සත්‍ය අනාවරණ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි




චීනයේ පැතිර යන අභිරහස් බෝවන රෝගයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ අධ්‍යාපන ආයතන ආශ්‍රිතව එම රෝගී තත්ත්වය පැතිර යමින් ඇති බවයි.

උතුරුදිග චීනයේ ප්‍රදේශ කිහිපයකදී මෙම උණ රෝගී තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම බෝවන රෝගයේ නිව්මෝනියාවට සමාන ශ්වසන රෝගයක්  බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වන විටත් පාසැල් ළමුන් රැසකට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

පවතින තත්ත්වය හමුවේ උතුරුදිග චීනයේ පාසැල් රැසක් වසා දමා ඇති බවත්, ළමුන්ට අමතරව ගුරුවරුන් ද මෙම නිව්මෝනියා තත්ත්වයට ගොදුරුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම බීජිං නුවර රෝහල් ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයකම රෝහල් රැසක එම වෛරසය ආසාදනයවූ රෝගීන් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ලෝකය පුරා වසංගතයක් ලෙස පැතිරුණු කොරෝනා වෛරසය මුලින්ම හඳුනා ගැනුනේ ද චීනයෙන් බැවින් චීනය තුළ පැතිරෙන මෙම නිව්මෝනියා තත්ත්වය පිළිබඳව ද ජාත්‍යන්තර මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද චීනයෙන් එම රෝග තත්ත්වය පිළිබඳව සත්‍ය තොරතුරු ඉල්ලා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම රට තුළ එම ශ්වසන රෝගය පැතිර යාම පාලනයට කඩිනම් පියවර ගන්නා ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය චීන බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි සඳහන්.