Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාවේ උමගක සිරවී සිටින කම්කරුවන් පිරිස මුදා ගැනීම තවත් ප්‍රමාද වෙයි




ඉන්දියාවේ උත්තර් කන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටින කම්කරුවන් 41 දෙනා බේරාගැනීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඊට හේතු වී ඇත්තේ උමග තුළට ඇතුළු කල විදුම් යන්ත්‍ර බිඳ වැටීමට ලක්වීමයි.

ඒ අනුව එම කම්කරුවන් පිරිස මුදාගැනීම අවම වශයෙන් දින හතරක හෝ පහක් කාලයක් ගත වන තුරු ප්‍රමාද වනු ඇති බවයි පැවසෙන්නේ.

නාය යාමක් හේතුවෙන් උමගේ කොටසක් කඩා වැටීම හමුවේ එම උමග ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිස ඒ තුළ සිර වුණා.

ඒ, ඉකුත් 12 වනදායි. කම්කරුවන් 41 දෙනා සිරවී මේ වනවිට දින 14 ක කාලයක් ගතව ඇතත් ඉන්දියාවට මෙතෙක් ඔවුන්ව ආරක්ෂිතව පිටතට ගැනීමට හැකිවී නැහැ.

කඩා වැටුනු ප්‍රදේශයේ පවතින ගල් සහ ලෝහමය කොටස් හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බවයි පැවසෙන්නේ.

විදුම් යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් සහන සේවකයින් විසින් මේවනවිට සිය ශ්‍රමයෙන් සින්බුන් කොටස් ඉවත් කිරීම ආරම්භ කර තිබෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

සහන සේවකයින් පවසන්නේ තවත් යන්ත්‍රයක් එම ස්ථානයට ලගා වන තුරු බලා සිටීමට නොහැකි බවයි.

කෙසේවෙතත් මේ වනවිටත් සහන සේවකයින් කම්කරුවන් පිරිස සිරවී සිටින ස්ථානයට මීටර් 09 ක් පමණ දුරින් සිටින බවයි වාර්තා වන්නේ.

කම්කරුවන් පිරිසට අවශ්‍ය ඔක්සිජන්, ආහාර, ජලය මෙන්ම ඖෂධ වර්ග නල මාර්ගයෙන් උමග තුළට ලබා දෙමින් සිටිනවා.

ඊට අමතරව කැමරා මගින් ඔවුන්ගේ තත්ත්වය නිරීක්ෂණය කරන අතර උමග ආසන්නයේ රැඳී සිටින වෛද්‍යවරුන් කණ්ඩායමක් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලන බව ද සඳහන්.

එමෙන්ම ගිලන් රථ කිහිපයක් ද උපං මාර්ගයට ප්‍රවේශ වන ස්ථානය ආසන්නයේ රඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ, කම්කරුවන් පිරිස උමගින් පිටතට ගත් සැනින් ඔවුන්ව රෝහල් වෙත යොමු කිරීමටයි.