Saturday, July 27, 2024

General line - 0115112241

ක්‍රිකට් නඩුව සතියකට කල් යයි - නඩුවට හරීනුත් ගෑවෙයි

උදය කුමාර




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකල පෙත්සම දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම අද යලි කැඳවනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේදියි.

එහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව දැනුම් දුන්නා.

ඒ අනුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින් පැවසවේ තම සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බව හා ඔහු වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

ඉන් අනතුරුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

මෙම නඩුව මීළඟ  දින කැදවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව  කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිඥ විදානපතිරණ අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි නීතිඥ විදානපතිරණ අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යාශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ  දැරූ ස්ථාවරයේම තවදුරටත් පසුවන බවයි.

අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට තමන් විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම නැවත දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.  

එදින මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ස්ථාවරය ඔහුගේ නීතිඥවරු විසින් අධිකරණයට දැනුම් දීමට නියමිතයි.