මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට සිදුකළ රුධිරය පරීක්ෂාවකදී ඒඩ්ස් වෛරසය ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.
දෙසැම්බර් පළමු වනදාට යෙදී තිබූ ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් මහනුවර ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය හා මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදුකළ රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනකදීයි එලෙස ඒඩ්ස් වෛරසය ආසාදිත පුද්ගලයා හමුවී ඇත්තේ.
මෙම වැඩසටහනනේදී පුද්ගලයින් 386 දෙනෙකු රුධිර පරීක්ෂා කරගැනීමට පැමිණ තිබෙනවා.
එහිදී ඒඩ්ස් ආසාදිතයාට අමතරව “සිෆිලිස්” සමාජ රෝගයට ගොදුරුවූ අයෙකු ද හඳුනාගත් බවයි මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එම්.අයි.එම්. ලරීෆ් පැවසුවේ.
එම වැඩසටහනේදී රුධිර පරීක්ෂා කළ පුද්ගලයින්ගේ වාර්තා දින කිහිපයකට පසු ලැබීමට නියමිතයි.
ඔවුන්ගේ තොරතුරු සිය ඒකකය සතුව තබාගත් බවත්, ඒඩ්ස් හා සමාජ රෝගයට ගොදුරුවූ පුද්ගලයින් දෙදෙනා ඒකකයට ගෙන්වා ප්‍රතිකාර කිරීම ආරම්භ කළ බවත් ඔහු කියා සිටියා.
ඒඩ්ස් වෛරසය ශරීරගතවූ බව නොදත් ලිංගික වශයෙන් සක්‍රිය පුද්ගලයෙකු සමාජයේ සැරිසැරීම ඉතා අවදානම් වනවා.
අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවූයේ නම් රුධිර පරීක්ෂාවක් සිදුකර ගැනීම අතිශය වැදගත් බව ද මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එම්.අයි.එම්. ලරීෆ් පැවසුවා.
1991 වසරේ සිට මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් 303 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අතරින් 208 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් දස දෙනෙකු අවුරුදු 15 ට අඩු පිරිමි ළමුන් වනවා.
මෙම වසර තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකු ද මෙම වසරේ මියගිය බවයි මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එම්.අයි.එම් ලරීෆ් වැඩිදුරටත් පැවසුවේ.