Monday, May 20, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ ඔත්තු නිලධාරීන් සිව්දෙනෙකුට ඉරානයෙන් මරණ දඬුවම ලබාදෙයි




ඉරානය විසින් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු ඒජන්සියට සම්බන්ධ බවට චෝදනා ලැබූ සිව්දෙනෙකුට මරණ දඬුවම ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එලෙස මරණ දඬුවම හිමිවූ සිව්දෙනා අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ  කාන්තාවක් ද වන බවයි.

එම පිරිස මොසාඩ් බුද්ධි අංශයේ මගපෙන්වීම යටතේ රටේ ආරක්ෂාවට එරෙහිව පුළුල් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඉරානය චෝදනා කළේ. 

ගාසා යුද්ධය පදනම් කර ගනිමින් ඊශ්‍රායට සහ ඉරානය අතර මේවනවිට පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්.

හමාස් සංවිධානයට ඉරානය විසින් ප්‍රසිද්ධියේම සහය පළ කිරීම ඊට හේතුවයි.

ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස ඉරානය ද ඊශ්‍රායලය බල කර සිටිය ද ඔවුන් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

මේ හේතුවෙන් දෙපාර්ශවය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් වර්ධනය වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහි ප්‍රතිපලයක් ලෙස ඉරානය ඉකුත් දා ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශයේ නියෝජිතයෙකු බව පැවසෙන පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දුන්නා.

ඉන් අනතුරුව ඊශ්‍රායලය සිරියාව වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ ප්‍රධානියෙකු මියගිය අතර එය වාර්තා වුණේ දෙපාර්ශවය විසින් එකට එක කිරීමක් ලෙසයි.

ඉන් අනතුරුවයි ඉරානය මෙලෙස ඊශ්‍රායලයේ තවත් බුද්ධි අංශ නිලධාරීන් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබාදී ඇත්තේ.