Monday, May 20, 2024

General line - 0115112241

ජපානයේ සුනාමි අවදානම් නිවේදනය ඉවත් කෙරේ




ජපානයේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලට පනවා තිබූ සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනය ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

2024 නව වසරේ පළමු දිනය වූ ඊයේ ජපානයේ බටහිර වෙරළ තීරයේ ඇති වූ රික්ටර්  මාපාංක 7 යි දශම 6 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයකින් පසු එරට වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි තත්ත්වයක් ඇති වුණා.

ඉෂිකාවා ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම භූ කම්පනය සහ සුනාමි තත්ත්වය  හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් තිස් දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

කෙසේවෙතත් ජපාන බලධාරීන් පූර්ව සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීම හේතුවෙන් ජීවිත රැසක් රැක ගැනීමට හැකි වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

2011 වසරේදී ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අනතුරක් ඇති කළ විනාශකාරී භූ කම්පනයෙන් පසු ජපානයේ ඇති වූ විශාලතම භූ කම්පනය ඊයේ දිනයේ සිදුව ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

2011 වසරේ ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 18,500 ක් පමණ මියගිය හෝ අතුරුදන් වූවන්ගේ ලේඛණවලට ඇතුළත් වුණා.

කෙසේවෙතත් ඉන් වසර 13කට පසු ඊයේ දිනයේදී ජපානයෙන් වාර්තා වූ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන අවම මට්ටමක පැවතීම ජපානයේ සාර්ථකත්වයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් පෙන්නුම් කිරීමක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. 

මේ අතර  ජපාන කාලගුණ විද්‍යා කාර්යාලය අනාවරණ කළේ ඊයේ ඇති වූ පළමු භූ කම්පනයෙන් පසු රට තුළ පසු කම්පන 155 ක් සිදුව ඇති බවයි.