Monday, May 20, 2024

General line - 0115112241

ඉරානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මැදපෙරදිගට යුධ බියක්




ඉරානය ඉලක්ක කර ප්‍රබල බෝම්බ ප්‍රහාර දෙකක් එල්ලවුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් පුද්ගලයින් සියයකට අධික පිරිසක් මියගොස් ඇති බවයි.

තුවාල ලැබූ සංඛ්‍යාව 150 කට අධිකයි.

විදෙස් මාධ්‍ය පවසන පරිදි ඉරානයේ කර්මන් නගරය ඉලක්ක කර බෝම්බ පිපිරීම් ද්විත්වය සිදුව තිබෙනවා.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි පැවසෙන්නේ.

ඉරානයට අද විශේෂ දිනයක් වූ අතර එම දිනය ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම ජාත්‍යන්තරයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා.

මීට වසර 04 කට පෙර එනම් 2020 වසරේදී අසල්වැසි ඉරාකය ඉලක්ක කර අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරානයේ හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන කාසිල් සොලේමානි ජීවිතක්ෂයට පත් වුණා.

එම ප්‍රහාරය හෙලාදකිමින් සහ ජෙනරාල්වරයා අනුස්මරණය කරමින් ඉරාන වැසියන් විශාල පිරිසක් අද කර්මන් නගරයේ පිහිටි අදාළ ජෙනරාල්වරයාගේ දේහය මිහිදන් කර ඇති ස්ථානයේ ඉදිකර ඇති ස්මාරකය අභියසට එක්රැස්වෙමින් සිටියා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉරාන වැසියන් සිය ගණනක් එම ස්ථානයට එක්රැස් වෙමින් සිටියදී එම ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිට පසු එරට බලවත් ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ජෙනරාල් කාසිල් සොලේමානියි. 

2020 වසරේදී ජෙනරාල් කාසිල් සොලේමානි ඝාතනය කිරීම සඳහා අණ ලබාදුන් එවක හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සොලේමානිව හඳුන්වාදී තිබුණේ ලොව සිටින අංක එකේ ත්‍රස්තවාදියා ලෙසයි.

මේ අතර ඉරානයට මෙම ප්‍රහාරය එල්ලවීමත් සමඟ මැදපෙරදිග කලාපය අර්බුද රැසකට ඇදදමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඉරානය මේ වන විට සිටින්නේ ද ගාසා යුද්ධයට කොයි මොහොතක හෝ මැදිහත් වන බවට ඊශ්‍රායලය ප්‍රමුඛ සිය ප්‍රතිවිරුද්ධ මතදාරීන්ට අනතුරු ඇගවීම් සිදුකරමින්. 

ගාසා ගැටුම් හමුවේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්.

එය මේ වන විට රාජ තාන්ත්‍රික් අර්බුදයක් දක්වා තීව්‍රවී තිබෙනවා.

එම තත්ත්වය තවත් අවුලුවාලමින් ඊශ්‍රායලය, ලෙබනනයට එල්ලකළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා මිය ගියා.

එහි වගකීම ඊශ්‍රායලය නිල වශයෙන් භාරගෙන නැතත් හමාස් සංවිධානය, ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය අදාළ සිදුවීම සම්බන්ධයෙන් චොද්නා එල්ල කරන්නේ ඊශ්‍රායලයටයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ගාසා යුද්ධයට මැදිහත්වී මැදපෙරදිග කලාපය තුළ යුධ ගැටුම් වර්ධනය වනු ඇතැයි ලොව ප්‍රභල රටවල් බිය පළ කරනවා.

එබැවින් ජාත්‍යන්තර නායකයින් රැසක් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ලෙබනනය ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර වහා නවත්වන ලෙසයි.