Monday, May 20, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ මහ මැතිවරණය අදයි - ප්‍රදේශ රැසක ගැටුම් හා ගිනිතැබීම්




බංග්ලාදේශයේ මහ මැතිවරණය අද පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට ඉදිරි සිව් සිව්වසර සඳහාත් බංග්ලාදේශයේ පාලන බලය හිමිවනවා ද නැද්ද යන්න අද පැවැත්වෙන මහ මැතිවරණයේ ප්‍රතිපල අනුව තීරණය වන බවයි.

මැතිවරණ ප්‍රතිපල අනුව වත්මන් පාලක පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කළ හොත් ෂයින් හසීනා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරය හොබවන්නේ 05 වන වරටයි.

2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා පුරා වසර 15 ක් පුරා එරට පාලන බලය මෙහෙයවනවා.

ඒ, මෙතෙක් වැඩිම කාලයක් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධුරය හොබවන්නිය ලෙසටයි. ශෙයික් හසීනා මේවනවිට 76 වන වියේ පසුවනවා. 

කෙසේවෙතත් මෙවර බංග්ලාදේශ මහ මැතිවරණය අතිශය තීරණාත්මක බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එරට ප්‍රධාන විපක්ෂය විසින් මැතිවරණය ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුවයි.

හිටපු අග්‍රාමාත්‍ය බෙගම් කලීඩා ෂියාගේ නායකත්වයෙන් යුත් එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය මෙවර මහ මැතිවරණය  සඳහා තරග නොකරන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම පක්ෂය පවසන්නේ මහ මැතිවරණයක් සඳහා පෙනී සිටින්නේ පක්ෂග්‍රාහී නොවන මධ්‍යස්ථ අන්තර්වාර ආණ්ඩුවක් යටතේ බවයි. 

කෙසේවෙතත් ප්‍රධාන විපක්ෂයේ සහභාගීත්වයක් නොමැතිවීම හේතුවෙන් ඡන්ද විමසීමේ ක්‍රියාවලිය අසම්පූර්ණ බව බංග්ලාදේශයේ මැතිවරණ කාර්යාලය පවසනවා. 

එහෙත් ව්‍යවස්ථාපිත බලතල අනුව මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු කටයුතු සිදුකරන බවයි එරට මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ. 

මේ අතර බංග්ලාදේශය අද මහ මැතිවරණය පවත්වන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති පසුබිමකදී වීම  විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය පවසන පරිදි කලහකාරී පිරිස් විසින් ඊයේ දිනයේ සහ අද අළුයම බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 10 ක පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 20 ක් සහ පාසැල් 05 ක් ගිනි තබා විනාශ කර තිබෙනවා. 

කෙසේවෙතත් එරට වේලාවෙන් අද උදෑසන 08 ට ඡන්ද විමසීම ආරම්භ වුනු අතර අද පස්වරු 04 දක්වා එම කටයුතු පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ පාර්ලිමේන්තු ආසන 300 ක් සඳහා අපේක්ෂකයින් 2,000 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටින බවයි.

මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 120 ක් පමණ වෙනවා.