Saturday, November 30, 2024

General line - 0115112241

ගත් තීරණ නිසා ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇතැයි ජනපති කියයි




නිදහසින් 75 වැනි වසර සමරද්දී බංකොලොත් ලෙස නාමකරණය වී තිබූ රට 76 වැනි නිදහස් දිනය වෙද්දී එම තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දුෂ්කරතා විඳ දරාගනිමින් රටේ පුරවැසියන් බහුතරය රට යළි ගොඩනැංවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළට සහය දීම නිසා කෙමෙන් කෙමෙන් ඉදිරියට යෑමට හැකි වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේ 76වන නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්.

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමේදී පවතින දුෂ්කරතා පහව යනු ඇති.

ඒ හරහා ජීවන බර සැහැල්ලු වීම සහ ආර්ථිකය ශක්තිමත් වීම තුළින් ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

1948 වසරේ ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ ජාත්‍යන්තරයේ අපේක්ෂාව වූයේ ලංකාව පෙරදිග දියුණු රටක් බවට පත් වනු දැකීමයි.

ඒ සඳහා සියලු පසුබිම් සාධක අප සතු ව පැවතියා.

එහෙත් අවසානයේ අපට සිදු වූයේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමට බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිදහස් දින පණිවිඩයේ දැක්වුණේ. 

අතීත වැරදි යළි සිදු නොකළ යුතුයි. වත්මන් ගමන් මග නිවැරදි බව මේ වන විට මුළු ලෝකය ම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මෙම ගමන් මගෙහිම ඉදිරියට ගොස් යළිදු සෞභාග්‍යය උදා කරගැනීමට නිදහස් දිනයේ අදිටන් කරගනිමුයි ජනාධිපතිවරයා නිකුත් කළ නිදහස් දින පණිවිඩයේ තවදුරටත් දැක්වෙනවා.

රට යළි ගොඩනැංවීමේ  අභිමානවත්  මෙහෙවරට  හැකි  ශක්ති  ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

මේ අතර විසල් ආර්ථික අර්බුදයකට මුහුණ පා කෙමෙන් නැවත නිවැරදි ඉලක්කයට ගමන් ගන්නා වකවානුවක මෙවර නිදහස් දිනය සමරන බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය හා නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළඹෙමින් එම දුෂ්කර කඩයිම් අප පසුකරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අභියෝග ජයගෙන සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ අදිටන පෙරදැරිව ආර්ථිකයේ නව හැරවුමක් වන්නට 76වන ජාතික නිදහස් දිනය සටහන් වනු ඇති.

එකී සටන් මත නිදහස සුරකිමින් රටේ දියුණුව සහ ප්‍රගමනය වෙනුවෙන් සැවොම එක්ව ඉදිරියට, දියුණුවට පියනඟමු යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ නිදහස් දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වුණේ. 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද 76වන නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

පටු භේද හා ජාතිවාදී මෙන්ම ආගම්වාදී හැඟීම්වලින් දේශපාලන ක්ෂේත්‍රය ඉතා අපිරිසිදු වීම නිසා අප රටක් ලෙස භේදබින්න වූවා මෙන්ම අවාසනාවන්ත ඛේදවාචකයන් රැසකට මුහුණ දීමට සිදු වූ බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

ඒ අනුව දේශයක් ලෙස ලද ජයග්‍රහණ, ලැබූ පසුබෑම් මෙන්ම පරාජයන්ද ඉක්ම ගිය වසර 76ක කාලය තුළ අපට අත්දැකීම් සපයනු ලබනවා.

නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ථ පුරවැසියාගේ වගකීමක් වන අතර නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිත ඇප කැප වීම පාලකයින්ගේද වගකීම බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ  නිදහස් දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වුණේ.