Monday, January 13, 2025

General line - 0115112241

ජල ගාස්තු සූත්‍රයෙන් ජල බිල වැඩි නොවන බවට විෂයභාර ඇමතිගෙන් ප්‍රකාශයක්




කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ඇතැම් දේශපාලන පක්ෂ කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට යැයි පවසමින් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ද, ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීම සඳහා අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු එම අදහස් පළ කළේ  “ස්ථාවර රටකට සැවොම එක් මඟකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. 

මෙම වසර තුළ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව පැවසූ අමාත්‍යවරයා යෝජිත ජල සූත්‍රය හඳුන්වාදීම ජනතාව පීඩාවට පත් නොකරන ආකාරයකට සිදු කරන බව ද එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම වසරේදී  හඳුන්වා දෙන බවට ප්‍රකාශ කළ ජල ගාස්තු සූත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇති බවද අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසුවා.

කෙසේවෙතත් එම ජල සූත්‍රය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවත්, ජල සූත්‍රය මඟින් ජනතාවට අනවශ්‍ය බරක් පැටවීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.