Monday, May 6, 2024

General line - 0115112241

ආසියානු නායකයින්ගෙන් පුටින්ට සුබපැතුම් - බටහිර හා යුරෝපය නිහඬයි




රුසියානු ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ව්ලැදිමීර් පුටින්ට රටවල් රැසක නායකයින් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ අතරින් ආසියාවෙනුත් රටවල් කිහිපයක් ප්‍රමුඛයි.

ඒ අනුව චීන ජනාධිපති ෂී  ජින් පින් පවසන්නේ ඉකුත් දා පැවති රුසියානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගන්නා බවයි.

යළිත් සිය ජය තහවුරු කරගත් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සුබ පැතුම් එක් කරන බවද චීන ජනාධිපති ෂී ජින් පින් ප්‍රකාශ කළා. 

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඉරාන සහ උතුරු කොරියානු නායකයින්ද පුටින්ගේ ජයග්‍රහණය පිළිබඳ සිය සතුට පළ කර සුබ පැතුම් එක් කර තිබුණා.

ඊට අමතරව රුසියාවේ සමීපතම රාජ්‍යයන් වන බෙලරූසය, කියුබාව සහ වෙනිසියුලාව යන රටවල නායකයින්ද පුටින්ව අමතා සිය සුබ පැතුම් එක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අමෙරිකාව, බි්‍රතාන්‍යය සහ යුරෝපා සංගමය රුසියානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළා.

ඔවුන් පවසන්නේ ජනාධිපතිවරණය සාධාරණ හා අපක්ෂපාතී ක්‍රියාවලියක් නොවන බවයි. ප්‍රංශය සහ ජර්මනිය පුටින්ට සුබ පැතුම් එක් කිරීමට හෝ සූදානම් නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.