Saturday, May 11, 2024

General line - 0115112241

අකාර්යක්ෂම නිලධාරීන් සොයා බන්ධනාගාර බුද්ධි අංශයෙන් මෙහෙයුමක්




අකාර්යක්ෂම බන්ධනාගාර ප්‍රධානීන්ට එරෙහිව කඩිනමින් පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.

බන්ධනාගාරවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම බන්ධනාගාරවල ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඒ බව දැනුම් දුන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති එම සාකච්ඡාවට සියලු බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ අධිකාරීවරුන්, අධිකාරීවරුන්, සහකාර අධිකාරීවරුන් සහ ප්‍රධාන ජේලර්වරුන් එක්ව තිබෙනවා.

එහිදී බන්ධනාගාර සම්බන්ධයෙන් බුද්ධි අංශයෙන් සහ වෙනත් අංශවලින් ලද තොරතුරු පිළිබඳව වෙන් වෙන්ව සාකච්ඡා කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහිදී අකාර්යක්ෂම නිලධාරීන්ට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් දැඩිව අවවාද කළ බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවා.

යළිත් ඔවුන් සේවය කරන බන්ධනාගාරවල යම් නීති විරෝධී ක්‍රියාවක් වාර්තා වුවහොත් ඔවුන් වහාම එම බන්ධනාගාරවලින් ස්ථාන මාරු කිරීමට පියවර ගන්නා බවද එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර, අකාර්යක්ෂම බන්ධනාගාර නිලධාරීන් පිළිබඳ වහා සොයා බැලීමක් සිදුකර ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසට බන්ධනාගාර බුද්ධි අංශය වෙතද උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව එවැනි නිලධාරීන් පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් මේ වන විටත් මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.