Monday, May 13, 2024

General line - 0115112241

කූඨ ලේඛන සකස් කර රට පනින්න හැදූ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රටින් පිටවීම තහනම් කළ ව්‍යාපාරිකයෙකු, ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පළායාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා කොළඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්වන අතර ඔහු තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත තායි ගුවන් සේවයේ ටී.ජී - 308 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී රාජකාරී කටයුතුවල නිරතවී සිටි ආගමන විගමන නිලධාරීවරයා ඔහුගේ ගමන් බලපත්‍රය සහ අදාළ ලිපි ලේඛන පරීක්ෂා කර බලා, ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී එම ගමන් බලපත්‍රය ව්‍යාජ ගමන් බලපත්‍රයක් බවත් එහි සටහන් කර ඇති විගමන මුද්‍රාද ව්‍යාජ ඒවා බවත් ආගමන විගමන නිලධාරින් විසින් තහවුරු කරගෙන තිබෙනවා.  

මීට පෙර අදාළ ව්‍යාපාරිකයා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ශ්‍රී ලාංකිකයෙකු ඉතාලිය වෙත යැවීමට ගත් ප්‍රයත්නය අසාර්ථකවී, කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී  මොහුට එරෙහිව එම අධිකරණය මඟින් විභාග කරමින් පවතින නඩු කටයුත්තේදී මෙසේ රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් කර තිබෙන්නේ.

ඔහු එම අධිකරණ නියෝගය නොසලකා මෙරටින් පළායාමට උත්සාහ කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බවයි නෙති නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

අදාළ ව්‍යාපාරිකයා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.