Friday, May 17, 2024

General line - 0115112241

රතුපස්වල තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා




පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා අද කල් තැබුණා.

ඒ, ගම්පහ මහාධිකරණයේ දී අද අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමටයි නියමිතව  තිබුණේ.

ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදායි.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිවගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරනු ලැබුවේ නීතිපතිවරයා විසින්.