Wednesday, May 22, 2024

General line - 0115112241

දරුවන්ට ශාරිරිකව දඬුවම් කිරීම වරදක්




දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන නව නීති ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමටයි ආණ්ඩුව දැන් සූදානම් වන්නේ.

මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවා.


නිවසේදී, පාසල්වලදී මෙන්ම වෙනත් ස්ථාන සහ ආයතනවලදී දරුවන්ට ශාරීරික දඬුවම් ලබා දීමට අදාළව පවතින නීතිමය විධි විධාන ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් ශාරීරික දඬුවම් ඇතුළු අපයෝජනයන්ට හා ප්‍රචණ්ඩත්වයට ළමුන් විශාල පිරිසක් ගොදුරුවන තත්ත්වයක් පවතින බව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතකදී සිදු කළ වාර්තාවකින්ද පෙන්වා දී තිබෙනවා.

විද්‍යාත්මකවද තහවුරු වී ඇත්තේ ශාරීරික දඬුවම් ලබා දීම ළමයෙකුට ශාරීරික සහ මානසික වශයෙන් දීර්ඝකාලීන බලපෑමක් සිදු කරන බවයි.

ඒ අනුවයි කුරිරු හෝ නින්දිත, ශාරීරික හෝ ශාරීරික නොවන දඬුවම් කාණ්ඩය යටතේ ගැනෙන ඕනෑම ක්‍රියාවක් ආවරණය වන පරිදි නීති සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ.