Sunday, May 19, 2024

General line - 0115112241

සංශෝධනය කළ වීසා ගාස්තු අයකරන දිනය ගැන ඇමති ටිරාන්ගෙන් අනාවරණයක්




සංචාරක වීසා ගාස්තුව පැරණි අගයේම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ, අමාත්‍ය මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදීයී.

ඒ අනුව විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාම සිදුවනු ඇති.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එලෙසම ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩලය එහිදී තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය පවසනවා. 

සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වන විට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශව රැසක්ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම එය සංචාරක කර්මාන්තයේ ඉදිරි අභිවෘද්ධියට විශාල පිටිවහලක් වන බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා. 

මේ අතර නව ගාස්තු ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ කුමන දිනක සිට දැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ නව ගෙවීම් පිළිබඳ දත්ත අදාළ පද්ධතියට ඇතුළත් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කරන බවයි.