Sunday, May 19, 2024

General line - 0115112241

ඇල්පිටියේ PHI ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු රටින් පැනයද්දී අල්ලයි

ටී.කේ.ජී. කපිල




ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවකට අදාළ පොලිස් විමර්ශන සඳහා අවශ්‍යව සිටි පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම සැකකරු වෙනත් නමකින් කූඨ ලෙස සකස් කර ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුට ගෙන තිබෙනවා.

ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය මගින් සැකකරු හඳුනා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ඇල්පිටිය, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පත්තිනි දේවගේ තිවංක මනෝහර නැමැති අයෙක්.

ඔහු මෙරටින් පළා යාම සදහා මදුරදූවගේ දිල්ෂාන් මධුසංඛ ද සිල්වා යන ව්‍යාජ නමකින් කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන තිබෙනවා.

ඔහු කළක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර, එය හැර ගිය අයෙකු බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම සදහා එම සැකකරු ඔත්තු බැලූ බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.