Sunday, May 19, 2024

General line - 0115112241

ජනාධිපති අරමුදලෙන් නව ශිෂ්‍යත්ව වැඩසටහන් 02ක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි එම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතයි.

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.

කාණ්ඩ දෙකක් යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන අතර මේ යටතේ ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් 5,000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරෙනවා. 

පළමු කාණ්ඩය යටතේ මසකට රුපියල් 3,000 බැගින් 2024 මැයි මස සිට මාස 12ක් සඳහා ද, දෙවන කාණ්ඩය යටතේ මසකට රුපියල් 6,000 බැගින් මාස 24ක් සඳහා ද ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.