Monday, May 20, 2024

General line - 0115112241

පාසල් ක්‍රීඩකයින් අමාරුවේ වැටුනු නීතියක් ගැන අනාවරණයක්




ක්‍රීඩා කුසලතා මත පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයක් හේතුවෙන් පාසල් ක්‍රීඩකයින් විවිධ අසීරුතාවන්ට ලක්වන බවට චෝදනා එල්ල වනවා.

කිසියම් පාසලක ක්‍රීඩකයෙකු එම පාසලෙන් අස් වී වෙනත් පාසලකට ඇතුළත් වීමේදී නව පාසල නියෝජනය කරමින් ක්‍රීඩා තරඟ සඳහා සහභාගි වීමට විරෝධයක් නොදක්වන බවට පැරණි පාසලේ විදුහල්පතිවරයා සහතිකයක් ලබා දිය යුතු බව එම චක්‍රලේඛයෙන් නියම කර තිබෙනවා. 

එලෙස පැරණි පාසලේ විදුහල්පතිවරයාගේ සහතිකයක් නොමැති නම් පාසල හැර යන ක්‍රීඩකයාට වසරක කාලයක් අදාළ ක්‍රීඩාවල නිරත වීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඇතැම් විදුහල්පතිවරුන් මෙවැනි අවස්ථාවලදී සිය පාසල නියෝජනය කළ ක්‍රීඩකයින් වෙනත් පාසලකට ඇතුළත් වීමේදී විරෝධය දැක්වීම හේතුවෙන් මතුව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්.

එවැනි ගැටලුවකට මුහුණ දුන් සමස්ත ලංකා මට්ටමේ දක්ෂතා දක්වන සිසුවෙකුගේ පියෙකු වන චන්දිම රාජසිංහ ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.  

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ පසුගිය ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා තරඟාවලියේදී වයස අවුරුදු 14න් පහළ යගුළිය සහ හෙල්ල විසි කිරීමේ ඉසව්වල නව වාර්තා පිහිටවූ මයෝන් රාජසිංහ නමැති සිසුවායි. 

ඊට අමතරව ඔහු වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කළා. මයෝන්ගේ පියා වන චන්දිම රාජසිංහ ඒ පිළිබඳ අදහස් දැක්වුයේ මෙලෙසයි. 

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල විජේවර්ධනගෙන් ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ කණ්ඩායම් ක්‍රීඩාවලට සම්බන්ධ ක්‍රීඩකයින් පාසල් හැර යාමේදී එම කණ්ඩායම්වල සෙසු ක්‍රීඩකයින්ටද බලපෑමක් ඇති වන බැවින් එවැනි චක්‍රලේඛයක් ක්‍රියාත්මක බවයි.

මෙම සිද්ධියට අදාළව මළල ක්‍රීඩා සඳහා සහභාගි වීමට අවසර ලබා දී ඇති බවත් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු වීමට එම සිසුවාට අවසර ලබා දී නොමැති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අදාළ චක්‍රලේඛය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ඇත්තේ අදාළ පාසලේ විදුහල්පතිවරයාට බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළා.

කෙසේවෙතත් විශේෂ අවස්ථාවන්හිදී සාධාරණ හේතු මත මෙවැනි අවස්ථාවක අවසන් තීරණයක් ගැනීම අධ්‍යාපන ලේකම්වරයා වෙත පැවරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මීට පෙරද මෙවැනි අවස්ථාවන්හිදී අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රීඩා කුසලතා මත පාසල් මාරු කිරීමට සිසුන්ට අවසර ලබා දී ඇති බැවින් මෙම සිදුවීමේදීද සාධාරණය ඉටු කර දෙන ලෙසයි මයෝන් රාජසිංහගේ පියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එසේ නොවුනහොත් දක්ෂ ක්‍රීඩකයෙකුට වසරක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදු වන බවත් ඉන් ඔහුගේ ක්‍රීඩා අනාගතයටම බලපෑමක් ඇති විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.