ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත කාලසීමාව තුල යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවුව හොත් එම මැතිවරණ දෙකම එකම කාල වකවානුවක පැවැත්විය හැකිද යන්න සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් මතුව තිබෙනවා.
ඊට හේතුවී ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් පැවැත්විය යුතුය යන මතය දැරීමයි.
ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර හෝ ඊට පෙර පාර්ලිමේන්තුව යෝජනා සමතයකින් විසුරුවා හැරියහොත් මතුවිය හැකි තත්ත්වය කුමක්ද? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නීතිවේදී අචාර්ය ප්‍රතිභා මහානාම හේවා ගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ප්‍රායෝගික ගැටළු මතු වුවද මැතිවරණ දෙකම එක් දිනයකදී හෝ ආසන්න කාලසීමාවකදී පැවැත්වීමට සිදුවන බවයි.
මේ අතර 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුණේ එම ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 17 සහ 2024 ඔක්තෝබර් 16 දින අතර කාලය තුළ පවත්වන බවයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දින නියම කිරීමට සිය කොමිසම වෙත පැවරී ඇති බලතල අනුව, එය සිදුකරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.