Tuesday, May 21, 2024

General line - 0115112241

විදුලිබල ඇමතිට ලැබී ඇති අත්තනෝමතික බලය ගැන අධිකරණයේදී කියයි

උදය කුමාර




රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් ලබාදී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද චෝදනා නැගුණා.

ඒ, විදුලිබල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් දෙවන දිනටත් විභාගයට ගත් අවස්ථාවේදී, පෙත්සමක් ගොනුකර තිබූ ලංකා විදුලි සේවක සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මේ බව කියා සිටියා.  

මෙම පෙත්සම් විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද විභාගයට ගනු ලැබුවා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් සලසා දී තිබෙන බව චෝදනා කළා. 

බලශක්ති කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් පත් කිරීම, විදුලිය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීම, ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ බලතල යනාදී අත්තනෝමතික බලතල මෙම පනත් කෙටුම්පත තුළින්  විෂය භාර අමාත්‍යවරයාට ලබාදී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළා.

ඊට අමතරව බලපත්‍ර නිකුත් කිරීම, අවලංගු කිරීම, වෙනස් කිරීම වැනි බලතල ද විෂය භාර අමාත්‍යවරයාට පවරා දී ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙම පනත් කෙටුම්පත තුළින් ජනාධිපතිවරයාට නොදෙවෙනි බලයක් විදුලි බල විෂය භාර අමාත්‍යවරයාට ලබාදී ඇති බවටත් සඳහන් කර සිටියා. 

මහජන උපයෝගීතා  කොමිෂන් සභා පනත යටතේ විදුලි ක්ෂේත්‍රයේ ඒකාධිකාරී තත්ත්වයන් නිර්මාණය වීම වළක්වා තිබුණද යෝජිත නව පනත් කෙටුම්පත තුළින්ම විදුලිය පිළිබඳ ඒකාධිකාරී තත්ත්වයන් නිර්මාණය වීමට මං පාදා තිබෙන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම යෝජිත පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාපති බලතල කප්පාදුවට ලක් කර තිබෙන බවත් නීතිඥවරයා වැඩිදුරටත් චෝදනා කර සිටියා. 

ඉන් අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද කරුණු ඉදිරිපත් කළා.

වැඩිදුර පෙත්සම් විභාගය කල් තැබුණා. 

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පාර්ශව 14 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

ඒ අනුව අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.