Sunday, November 24, 2024

General line - 0115112241

ලොව වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක්  දවාගත් වේගපන්දු යවන්නා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණ කරයි




එංගලන්තයේ සුපිරි වේග පන්දු යවය ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ජේම්ස් ඇන්ඩර්සන් ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගෙන සිටින වේග පන්දු යවන්නාද වනවා.

41 හැවිරිදි ඔහු මේ වන විට ටෙස්ට් තරඟ 187කදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 700ක්.

එළඹෙන ජූලි 10වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලෝඩිස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරඟයෙන් පසුව තමන් විශ්‍රාම ගන්නා බවයි සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් ඇන්ඩර්සන් නිවේදනය කර ඇත්තේ.

2003 වසරේ මැයි මාසයේදී ටෙස්ට් වරම් හිමි කරගත් ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් ඉතිහාසයේ කඩුලු 700ක් දවා ගත් ලොව පළමු වේග පන්දු යවන්නා බවට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එළඹෙන ටෙස්ට් තරඟාවලි සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තරුණ වේග පන්දු යවන්නන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි. 

මේ වන විටත් ටෙස්ට් කඩුලු 800ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම කඩුලුලාභීන් අතරේ පෙරමුණේ පසුවනවා.