Sunday, November 24, 2024

General line - 0115112241

මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය විවෘත කරයි




කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය අද (2024.05.29) විවෘත කරනු ලැබුවා.

ඒ සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක් වුණා.

එහිදී අදහස් දැක් වූ  අග්‍රාමාත්‍යවරයා ,

"අද දිනය අපේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ සාහිත්‍යය ශූරීන් වෙනුවෙන් විශේෂිතයි.අපේ රටේ සාහිත්‍යයේ අභිමානය වගේම සාහිත්‍යය, භාෂාව, සහ සමාජ විද්‍යාවට අලුත් අවදි කිරීමක් කළේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්.

අපේ රටේ සෑම පුරවැසියෙක්ටම දෙනතින් දැක ගත හැකි වන පරිදි මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රීමතානන්ගේ එකතුවේ පැවැති සාහිත්‍ය කෘති ජාතික පුස්තකාලයට භාර දෙන අවස්ථාවේ එම වස්තු සම්භාරය ගොඩනගපු අපේ  මහා සාහිත්‍යවේදීයානන් ගෞරවයෙන් සිහිපත් කරනවා. 

මෙම වස්තු සම්භාරය රටේ සැමදෙනාට පැමිණ ප්‍රයෝජනයකට පරිවර්තනය කළ හැකි ආකාරයට සකස් කිරීමේ ක්‍රියාවලියට ජාතික පුස්තකාලය මින් ඉදිරියට උර දෙනු ඇති.

අපේ රටේ, ජාතියේම ආඩම්බරයක් වූ මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාගේ පවුලේ අය මෙතෙක් කල් ආරක්ෂා කර අද දිනයේ මෙය මතු පරම්පරාවට ප්‍රයෝජනයකට පරිවර්තනය කළ හැකි ලෙස ජාතියටම  භාරදීම අතිශයින් වැදගත් සහ ඒ වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරනවා. 

පවුලේ අය මෙතෙක් මෙම වස්තුව ආරක්‍ෂා කිරීමට ඉටු කළ කාර්යයට වඩා කාර්යයක් මෙතනින් ඉටුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අසමසම සාහිත්‍යවේදියෙක්. 

ලෝකයේ සාහිත්‍යවේදීන්ගේ කේන්ද්‍රස්ථාන උල්පත් තිබෙන රටවල් වල එතුමාට හිමිවන්නේ අතිමහත් ගෞරවයක්. මෙම පුස්තකාලය එලෙස අද දිනේ එක්වන අවස්ථාව අපේ රට වැටියාට වගේම ජාත්‍යන්තරවද සුවිශේෂයි."

රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. සුනිල්, හිටපු රාජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, මහාචාර්ය ජේ.බී.දිසානායක, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය පද්මලාල් එන්. මානගේ,   ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක් වුණා.