Saturday, November 23, 2024

General line - 0115112241

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟය තවත් නොබෝ වේලාවකින්




2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරඟය අද පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගයි.

නිව්යෝර්ක්හිදී පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරඟාවලියේ ඩී කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරඟය වන්නේ මෙම තරඟයයි.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය ඩී කාණ්ඩය යටතේ තරඟ වදිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ දක්වා විස්සයි විස්ස තරඟ 17න් පවත්වා ඇති අතර ඉන් තරඟ 12ක් ජයගෙන ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 05ක් ජයගෙන තිබෙනවා.

මෙම කණ්ඩායම් දෙක විස්සයි විස්ස ලෝක කුසලාන තරඟවලදී මීට පෙර සිව් වතාවක් මුණගැසී ඇති අතර ඉන් තරඟ තුනක් ජයගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි.

ශ්‍රී ලංකාව එක් තරඟයක් ජයගෙන තිබෙනවා.

විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව දකුණු අප්‍රිකාණු කණ්ඩායම අංක 07වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 08වන ස්ථානයේයි. 

විස්සයි විස්ස තරඟවලදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කර ගෙන සිටියද අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරඟ පහෙන් 04ක් පරාජයට පත්ව තිබෙනවා.

අවසන් වරට පැවති බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස පරාජයට පත් වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන යම් මානසික ඇද වැටීමකට ලක්ව සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරඟ පහෙන් තුනක් ජය ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රබල පිතිකරු බලඇණියකින් සමන්විත වන අතර ශ්‍රී ලංකා පිල විවිධත්වයෙන් යුතු පන්දු යවන්නන්ගෙන් සමන්විත වනවා.

ඒ අනුව අද තරඟය දකුණු අප්‍රිකානු පිතිකරුවන් සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර තරඟයක් බවට පත් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.