Saturday, November 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට හේතු කියයි




ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 20ක් පමණ රැස්කිරීමට හැකි වූයේ නම් බංග්ලාදේශයට එරෙහිව පැවැති 20යි 20 ක්‍රිකට් තරඟය ජය ගැනීමට හැකියාව තිබූ බව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර පවසනවා.

දෙරට අතර පැවැති තරඟයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.


පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරඟය බංග්ලාදේශ කණ්ඩායම ජයගනු ලැබුවේ කඩුලු දෙකකින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 47ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 21ක් රැස්කළා.

චරිත් අසලංක රැස්කළ ලකුණු සංඛ්‍යාව 19ක්. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16යි.

සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුටත් ලකුණු 10යේ සීමාව පසුකර යාමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ කඩුලු 08ක් පමණක් දැවී ලකුණු 125ක් රැස්කරමින් තරගය ජය ගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියකදී බංග්ලාදේශය හමුවේ පරාජයක් ලැබු පළමු අවස්ථාව මෙය වනවා. 

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට පන්දු වාර 20 ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට ඇති අවස්ථාව තවදුරටත් අවම මට්ටමකට පවතිනවා.

සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට ඉතිරි තරග දෙකම ජයගෙන දකුණු අප්‍රිකාව හෝ බංග්ලාදේශය ඔවුන් සහභාගී වන ඉතිරි තරගවලින් දෙකක් පරාජයට පත්විය යුතුයි.

ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ ඉදිරි තරගවල ජයග්‍රහණයන් තීරණවලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට යනවාද නැද්ද තීරණය වනු ඇති බවටයි. 

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති  තරඟයෙන් ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසුරංගගේ නායකත්වය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විවේචන එල්ල වෙමින් පවතිනවා.

ඒ, පැවති තරග දෙක තුලදීම වනිදු හසරංග  ලකුණු නොලබා දැවි යාම සහ තරගාවලිය තුළදී පන්දු යවන්නන් යොදවා ගැනීම පිළිබඳවයි.