Sunday, September 8, 2024

General line - 0115112241

ට්‍රම්ප් ඝාතන සැලැස්මේ තවත් තොරතුරු රැසක් එළියට




අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළ තුවක්කුකරු නියමිත වේලාවට පෙර වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ඉහළින් ඩ්‍රෝන යානයක් පියාසර කර තිබෙන බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පෙන්සිල්වේනියාවේ බට්ලර් නගරයේ පැවති රැලියේදී මෙලෙස හිටපු ජනාධිපතිවරයාව ඝාතනය කිරිම සඳහා සැලසුම් කර තිබුණේ 20 හැවිරිදි තෝමස් මැතිව් ක්‍රොක්ස් නමැති පුද්ගලයෙක්.

ඔහුව අමෙරිකාවේ ආරක්ෂක සේවා නියෝජිතයින් විසින් එම ස්ථානයේදීම වෙඩි තබා ඝාතනය කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් රැලිය අමතමින් සිටි ස්ථානයේ සිට අඩි 430ක් පමණ දුරකින් පිහිටි වහලක් මතට සිට අදාළ සැකකරු වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් ඔහු විසින් වෙඩි ප්‍රහාර හයක් පමණ එල්ල කර ඇති බව සඳහන්.

දුරස්ථව සිට පුපුරුවා හැරීමට හැකි ආකාරයේ බෝම්බ දෙකක් ද සැකකරු සතුව තිබී හමුවී තිබෙනවා.

මෙම පුපුරණ ද්‍රව්‍ය රැලිය පැවති ස්ථානය අසල නවතා තිබූ ඔහුගේ මෝටර් රථයේ තිබී සොයා ගත් බවයි ඇමෙරිකානු ආරක්ෂක අංශ පැවසුවේ.

සැකකරු වෙඩි තැබීමේ ප්‍රහාරයට පෙර පතොරම් 50ක් සහ අඩි 05ක ඉනිමගක් මිලදී ගත් බවද මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ සැකකාර තෝමස් මැතිව් තුවක්කු කෙරෙහි උනන්දුවක් දක්වන සහ දේශපාලනය පිළිබඳව අමුතු අදහස් දරන්නෙකු වන බවයි.

ඒ අනුව ඔහු විශාල හානියක් සිදු කිරීම සඳහා සැලසුම් සහගතව පැමිණි බවයි ඇමෙරිකානු ආරක්ෂක අංශ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.