Saturday, October 5, 2024

General line - 0115112241

විද්‍යුත් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙනැවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන එමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.

අදාළ පුද්ගලයාගේ ගමන් මලු කිහිපයක් ඉකුත් 26 වන දින මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.

එම ගමන් මලු “මග හැරුණු ගුවන් ගමන් මලු” ගබඩාවේ තැන්පත් කර තිබූ අතර, ගුවන් තොටුපොළෙන් සිදු කළ දැනුම් දීම මත ඔහු එම ගමන් මලු රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගමන් මලු ගුවන් තොටුපොළෙන් නිදහස් කර ගත් අදාළ පුද්ගලයා ඒවා රැගෙන ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

වැටලීමේදී විද්‍යුත් දුම්වැටි 245ක් සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් බවයි කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.