Saturday, November 30, 2024

General line - 0115112241

ශානි අබේසේකරගේ පෙත්සමක් සලකා බලන විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකු ඉල්ලා අස් වෙයි

උදය කුමාර




කොළඹ අපරාධ කොට්ඨාශය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තුන් දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් දෙදෙනෙකු අද ඉවත් වුණා.

ඒ, එම පෙත්සම් එස් තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස් තුරෙයි රාජා සඳහන් කළේ මෙම නඩුකරයට හා සම්බන්ධ තවත් නඩුවකට අදාළව තමා විසින් දැනටමත් තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් මෙම පෙත්සම් සලකා බැලීමේ කටයුතුවලින් තමන් ඉවත් වන බවයි.

සාමාජික විනිසුරු කුමුදුනී වික්‍රමසිංහද පෞද්ගලික හේතුන් මත තමන් මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත්වන බව සඳහන් කළා. 

ඉන් අනතුරුව පෙත්සම් සලකා බැලීම මාර්තු මස 12 වන දා දක්වා කල් තැබීමට තීන්දු වුනා. 

කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියට අදාළ නඩුවේදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි පවසමින් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් තුන්දෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.