Tuesday, October 15, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි 




එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද පෙරවරුවේ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

ඒ ජනාධිපති කාර්යාලයේදී

පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වී තිබෙනවා.

 "බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම" මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද  ජනාධිපතිවරයා වෙත පිළිගැන්විය. 

මෙම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පුර්ණ සහාය ලබා දෙන බවට ද නියෝජිතවරිය සහතික වී තිබෙනවා.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳව ද මෙම හමුවේ දී විශේෂ සාකච්ඡාවට ලක් විය.  

ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව දුර්වල මට්ටමක පැවතීම පිළිබඳව ද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ 

තවද ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදීමට මෙහිදී කැමැත්ත පළ කළ සහකාර මහලේකම්වරිය ඩිජිටල්කරණය දූෂණය අවම කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස යොදා ගත හැකි බව ද පෙන්වා දෙනු ලැබුවා.

මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එවැනි ප්‍රතිසංස්කරණ මගින් සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත් නියෝජනයක් සහතික කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියා.

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද  මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම ක්ෂේත්‍රයේ පොලී අනුපාත අසාධාරණ බවයි. 

කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට සහාය දැක්වීම සඳහා නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත්, ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම සඳහා කාන්තා ව්‍යවසායකයින් විසින් ඉදිරිපත් කරන හොඳම යෝජනා සඳහා භාණ්ඩාගාර ඇපකර ලබා දීමටත්  රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා