Sunday, November 24, 2024

General line - 0115112241

පාසල් කටයුතුවලට සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතය සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්




පාසල් අධ්‍යාපන කටයුතු සඳහා වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අදාළ සන්නිවේදන සමූහයේ පරිපාලක ලෙස පාසල් ප්‍රධානීන්, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පති, අංශ ප්‍රධාන ගුරුවරුන් නිරන්තර අධීක්‍ෂණය හා නියාමනය යටතේ ගුණාත්මක මට්ටමෙන් එය පවත්වාගෙන යා යුතු වනවා.

අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කර ඇති පාසල් කාලය තුළ උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සජීවීව සිදු කිරීමෙන් විෂය නිර්දේශ ආවරණ කිරීමට කටයුතු කළ යුතු බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ. විෂය නිර්දේශ ආවරණය සඳහා සන්නිවේදන සමූහ භාවිතයෙන් වැළකිය යුතු වනවා.

ප්‍රාථමික අංශයේ සිසු දරුවන් විසින් පාසලට රැගෙන ආ යුතු ඉගෙනුම් ද්‍රව්‍ය, උපකරණ ආදිය පිළිබඳ දැනුම් දීමේදී විධිමත් සැලැස්මකින් යුතුව ප්‍රමාණවත් කාලයක් ලබා දී දෙමාපියන් දැනුවත් කිරීම කළ යුතුයි.

ඒ පිළබඳ සිහි කැඳවීම් යොමු කිරීම සඳහා පමණක් සන්නිවේදන යෙදවුම් භාවිතය සීමා කිරීම සුදුසු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය නිකුත් කළ එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

සිසුන් විසින් නිවසේදී සිදු කළ යුතු අභ්‍යාස හා පැවරුම් ආදිය සිසුන්ට ලබා දීම පාසල් පන්ති කාමර ඉගෙනුම් ඉගැන්නුම් ක්‍රියාවලිය අතරතුර පැහැදිලි කිරීමෙන් පමණක් සිදු කළ යුතුයි. 

දෙමාපියන් සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ද අපහසුතාවට පත් කරමින් වට්ස්ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් යොදා නොගත යුතු බවත් එම චක්‍රලේඛයෙන් තරයේ අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මෙවැනි සන්නිවේදන යෙදවුම් භාවිතයේදී කිසිදු අයුරකින් සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන සහ ඔවුන්ගේ මානසික පීඩනයට ලක්විය හැකි ආකාරයේ පණිවිඩ, වීඩියෝපට, ඡායාරූප, හඬපට නිවේදන ආදී කිසිවක් යොමු කිරීම සිදු නොකළ යුතු වනවා.

එැවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් විනයානුකූලව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙනවා.