මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබාදෙන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ලවණ බාධකය හේතුවෙන් නිල්වලා ගඟ දෙපස ජනතාවට සිය ගොවිබිම් අහිමි වීම ඇතුළු ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බවයි ජනාධිපති ලේකම්වරයා පැවසුවේ.
එම තත්ත්වය කඩිනමින් යථා තත්වයට පත් කිරීම රජයේ හා නිලධාරීන්ගේ වගකීම බවද ඔහු අවධාරණය කළා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ අදාළ අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කර තිබෙනවා.
ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්ත්වයක් මෙන්ම ගොවිබිම්වලට ලවණ ජලය පැමිණීම සිදුවන්නේද යන්න සොයා බලා ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීම විධිමත් අධ්‍යයනයකින් අනතුරුව සිදුකළ යුත බව එම සාකච්ඡාවට එක්වූ ඉංජිනේරුවන් පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් හා යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබා ගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා එහිදී සිය එකඟතාව පළ කර තිබෙනවා.