Thursday, December 5, 2024

General line - 0115112241

මහරගමදී වාහන 04ක් එකිනෙක ගැටී පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට




මහරගම, පමුණුව මංසන්ධියේදී වාහන 04ක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

පොලීසිය පැවසුවේ පතිරගොඩ දෙස සිට පොල්වත්ත දෙසට ධාවනය වූ ජීප් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව පළමුව මෝටර් රථයක ගැටී ඇති බවයි. 

ඉන් අනතුරුව ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක්ද ගැටී එම අනතුර සිදුව තිබෙනවා. 

අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. 

එලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරුද කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

අනතුර සම්බන්ධයෙන් ජීප්රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර කුරුණෑගල පුත්තලම මාර්ගයේ මාමුණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින්ද පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

බහාලුම් ප්‍රවාහන ලොරි රථයක් යතුරුපැදියක් පසුකර යාමට උත්සහ කිරීමේදී එම යතුරුපැදියේ පසුපස ගැටී යතුරුපැදිකරු ලොරි රථයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ බමුණාකොටුව, ගොන්නව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරිරථ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.