Thursday, December 26, 2024

General line - 0115112241

ෆෙන්ගල් නිසා ඉන්දියාවේ ගුවන් ගමන් සහ දුම්රිය වාර සීමා කෙරේ




ෆෙන්ගල් සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවට ඇතුළු වී ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. 

මේ හේතුවෙන් ඉන්දියාවේ ඉදිරි පැය 48 තුළ එහි ප්‍රාන්ත කිහිපයකට අධික වර්ෂාපතනයක් ලැබිය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඒ අනුව තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් සහ පුදුචේරි ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයකට රතු අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර තිබෙනවා. 

එසේම සුළඟ සමඟ වර්ෂාපතනයක් ද ඇති වීමට හැකියාවක් පවතිනවා. 

සුළගේ වේගය ද පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ හේතුවෙන් එරට රජය විසින් ප්‍රාන්ත කිහිපයක පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා නිවාඩු ප්‍රකාශයට පත් කර ඇති අතර එම ප්‍රාන්තවල කාර්යාල සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවසර ලබාදී තිබෙනවා. 

ෆෙන්ගල් සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය ගමන් වාරද අත්හිටුවා තිබෙනවා. 

චෙන්නායි ප්‍රාන්තවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.