Saturday, December 21, 2024

General line - 0115112241

කඩුගන්නාවේත් බස් රථ අනතුරක්

රංජිත් රාජපක්ෂ




කඩුගන්නාව, ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් ගසක වැදී අනතුරට ලක්ව තිබෙනවා. 

පොලිසිය පැවසුවේ අනතුරෙන් බස් රථයේ සිටි පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. 

අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක්. බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

මේ අතර හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී එහි ගමන් ගත් මගීන් තිදෙනෙකු අද ජීවිතක්‍ෂයට පත් වුණා. 

බස් රථයේ සිටි තවත් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. 

ඒ අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර ද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

තුවාල ලැබූවන් අතරින් බරපතල තත්ත්වයේ සිටි කිහිප දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සහ මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර තිබෙනවා. 

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරු 06 ක පිරිමි දරුවෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. 

ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරු පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදුව තිබෙනවා. 

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.     
 

මේ අතර කොළඹ - නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී ද රිය අනතුරක් සිදුව තිබෙනවා. 

ඒ, නුවර දෙසට ධාවනය වෙමින් තිබු  බහළුම් රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන්. අනතුරෙන් නවතා තිබූ ලොරි රථයට සහ ගොඩනැගිලි දෙකකට ද හානි සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ රියදුරා හා සහයකයා එහි රැඳී සිට නැහැ. 

ඔවුන් දෙදෙනා ආහාර ගැනීම සඳහා ඒ අසල පිහිටි හෝටලයකට ගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. 

බහළුම් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. 

අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ. 

සිද්ධිය සම්බන්ධයෙන් බහලුම් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.