Friday, January 10, 2025

General line - 0115112241

මාස නවයේ සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමි ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

උදය කුමාර




2016 වසරේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළ කරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට අපහාසයක් සිදු කළේ යැයි එල්ල කර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09ක ලිහිල් සිර දඬුවමක් අද නියම කළා. 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10වන ව්‍යවස්ථාව තුළින් තමන් කැමති ඕනෑම ආගමක් හෝ ඇදහිල්ලක් විශ්වාසයක් දැරීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන ඇති බවයි. 

ඒ අනුව ඉස්ලාම් භක්තිකයින්ට තමන්ගේ දහම සම්බන්ධයෙන් විශ්වාසයක් දැරීමට පූර්ණ හිමිකමක් තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට සමත් වී තිබෙන බවත් ඒ අනුව විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.
 

තීන්දු ප්‍රකාශයට පත්  කරන අවස්ථාවේ විත්ති කූඩුවේ සිටි ඥානසාර හිමියන් අධිකරණය අමතමින් “ස්වාමීනී... 

මම බෞද්ධ භික්ෂුවක්. 

වසර විස්සක් පමණ මම ඉස්ලාම් මූලධර්මවාදය ගැන කතා කරනවා. 

හැමදාම මෙහෙම වෙන්න බෑ. එක්කෝ එකපාරට මරලා දාන්න” යනුවෙන් විවෘත අධිකරණයේ සඳහන් කළා. 
 

ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ තම තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවයි. 
 

2016 වසරේ ජූලි මස 08 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.
 

මේ අතර, එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද ප්‍රතික්ෂේප කළා. 
 

ඥානසාර හිමියන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට එම අභියාචනය ඉදිරිපත් කළ අතර එය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබුවා. 

ඉන් අනතුරුව එම අභියාචනයට යටත්ව විත්තිකාර ඥානසාර හිමියන් ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා  නීතිඥ ගාමිණී අල්විස් මහතා කරුණු ඉදිරිපත් කළා.
 

නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී ඇත්තේ මාස නවයක සිරදඬුවමක් බවත් ඊට එරෙහිව  ගොනුකර තිබෙන අභියාචනය විභාග කිරීම සඳහා ඊටත් වඩා වැඩි කාලයක් ගත විය හැකි බව පැවසුවා. 
 

ඊට අමතරව ඥානසාර හිමියන්ගේ පිට කොන්දේ සැත්කමක් සිදු කරන ලෙස වෛද්‍යවරු නිර්දේශය කර ඇති නිසා බන්ධනාගාර ගත වුවහොත් එම සැත්කම කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි සඳහන් කළ නීතිඥවරයා එයද සුවිශේෂී කරුණක් සේ සලකා ඥානසාර හිමියන්ට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියා. 
 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ මෙවැනි ඇප ඉල්ලීමක් සලකා බැලීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීම අවශ්‍ය බවයි.
 

මෙවැනි කාරණයකදී ඉදිරිපත් කරන සුවිශේෂී කරුණු පොදු කරුණු විය නොහැකි බව විනිශ්චිත නඩු තීන්දුවලින් දක්වා ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රත්වරයා අභියාචනා විභාග කිරීමට ගතවන කාලය සහ අසනීප තත්ත්වයන් සුවිශේෂී කරුණු සේ සැලකිය නොහැකි බව එහි දක්වා ඇතැයි පෙන්වා දුන්නා. 
 

ඒ අනුව මෙම විත්තිකාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු සුවිශේෂී කරුණු සේ සැලකිය නොහැකි බවින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළා.