Thursday, January 30, 2025

General line - 0115112241

හිටපු ජනපති රනිල් 25 වතාවක් විදෙස් ගත වූ හේතුව වජිර පහදයි




රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරය බාරගත් පසු 25 වතාවක් විදෙස් ගත වූ බවට චෝදනා නැගුවත් එතුමා එලෙස විදේශගත වුනේ රට පැවැති ආර්ථික අර්බුධයෙන් මුදා ගැනීමට ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට පමණක්ම බව එක්සත් ජාතික පක්ෂ සභාපතිල හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපති ධූරය බාරගැනීමෙන් පසු රට ඔසවා තැබීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කළ නමුත් ඔහු ඒ දේවල් තැන් තැන්වල කීමට කාලය වැය නොකළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල හමුව සඳහා පැමිණ සිටි පිරිස අමතමනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපතිල හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා

ඇත්තටම සාපය කුමක්ද කියා ජනතාව දැන්වත් තේරුම්ගත යුතුයි

වර්තමාන ආණ්ඩුව බලයට ආවේ 77 වසරක සාපයක් ගැන කියලා. 

ඉතින් බලන්නකෝ මේ සාපය තිබුණු අවුරුදු 77ටම පොල් ගෙඩිය රුපියල් 100යිනේග රනිල් වික්‍රමසිංහ VIII වැනි විධායක ජනාධිපති රට බාරදීලා යනකොට පොල් ගෙඩිය 100 යි.

නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 77 ක් යනකොට පොල් ගෙඩිය රුපියල් 250 යි. 

ඉස්සරහට රුපියල් 300ට විතර යයි. 

ඉතින් ජනතාව දැන් තේරුම් ගන්න ඕන සාපය කුමක්ද කියලා?

ඒ විතරක්ද රට පුරා හාල් හිඟයක් ඇති වෙලා. 

ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න බැරි ආණ්ඩුව අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුලුවන් හැමවිදියටම දොස් කියනවා. 

හාල් විතරකුත් නෙමෙයි අද ලුණුත් පිටරටින් ගෙන්නවන්න පටන් අරන් තියනවා. 

2004 සුනාමිය ආව වෙලාවේ ලංකාව වටේ තිබුණු ලුණු ලේවායවල් සියල්ලම වගේ විනාශ වුණා. 

නමුත් ලුණු පිටරටින් ගෙන්නුවේ නෑ.

ඒ නිසා තමයි මම කිව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට පාලනය කරද්දීත් ඔය කියන රිලව් හිටියා.

රනිලුත් හිටියා පොලුත් තිබුණා. 

ලංකාවේ ප්‍රධාන හාල් මෝල් හිමියන් පස් දෙනාත් හිටියා රනිලුත් හිටියා හාලුත් තිබුණා.

රටක් පාලනය කරන්න කළමණාකාරීත්වය ඉතාම වැදගත්.

මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එන බව දන්න නිසා තමයි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරාජය වෙලා හිටියත් පුන පුනා කිව්වේ දේශපාලන අත්දැකීම් සහිත අය පාර්ලිමේන්තු යවන්න කියලා.

එතුමා කොච්චර කිව්වත් අපේ රටේ මහජනතාව ඒක ඇහුවේ නෑනේ. 

දැන් ඉතින් රටේ මහජනතාවම හොඳට හිතලා බලන්න ඕන අවුරුදු 77 ක සාපයද දවස් 77 සාපයද වඩාත් හොඳ කියලා?

රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිධූරය බාර අරගෙන ගෙදරට වෙලා නිදාගෙන හිටියේ නැහැ
ඊට පස්සේ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිධුරයට පත් වුණාම විසිපස් වතාවක් රට ගියාලු.

ඉතින් එතුමා රට බාර අරගෙන ගෙදරට වෙලා නිදාගෙන හිටියේ නැහැ. 

එතුමා රට බාර අරගෙන මේ රට ගොඩගන්න රෑ 12 වෙනකන් වැඩ කලාග ජාත්‍යන්තරට ගිහින් මේ ප්‍රශ්නවලට විසදුම් හෙව්වා. 

ඒ කරපු කැපවීම් සහ උත්සාහයන්ගේ ප්‍රතිඵල නිසා තමයි පෝලිම්වල හිටපු මහජනතාව ගෙවල්වලට ගියේ ඒ නිසා තමයි බංකොලොත් වෙලා නැත්තටම නැතිවෙලා තිබුණු රටක් අද මේ තත්ත්වයට අරගෙන ආවේ. 

හැබැයි එතුමා මේ දේවල් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වේ නෑ. 

එතුමා කිව්වද ටීවී එක ඉස්සරහට ඇවිත් මම රෑ 12 වෙනකන් වැඩකරනවා කියලා.

රනිල් වික්‍රමසිංහ මහතා  කිසිම දවසක අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති මන්දිරයේ නිදාගෙන නැහැ

ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජ්‍ය දේපල භාවිතා කරපු හැටි ගැන කියනවා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිධූරය දරන අවස්ථාවේදීවත් කිසි දවසක අරලියගහ මන්දිරයේ නිදාගෙන නෑ. 

ඔහු රාජකාරී අවසන් කරලා තමන්ගේ ගෙදරට එනවා ඔහුගේ නිවස ගිනි තියපු අවස්ථාවේදීවත් එතුමා අරලියගහ මන්දිරය භාවිතා කළේ නැහැ. 

ඒ විතරක් නෙමෙයි ඔහු ජනාධිපතිධුරය දරපු අවුරුදු දෙක හමාරක කාලය තුළත් කිසි දවසක ජනාධිපති මන්දිරයේ නිදාගත්තේ නෑ.

නමුත් 2018 වසරේ දින 53 ප්‍රශ්නය වෙලාවෙදීනම් ඔහු අරලියගහ මන්දිරයේ නැවතුණා. 

ඒ ප්‍රශ්නය ඇතිවෙලා මහින්ද රාජපක්ෂ මහත්මයට අගමැතිකම දෙන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියේ ගාල්ලේ විජයානන්ද විහාරයේ ගොඩනැගිල්ලක් විවෘත කරන උත්සවයකට සහභාගී වෙලාග මාත් හිටියා ඔහුත් සමග මේ අවස්ථාවේදී තමයි කොලඹ මෙවැනි දෙයක් වෙනවා කියලා අපිට ආරංචි වෙන්නේ. 

එතුමා කළබල උනේ නෑ. 

එතුමා ගාල්ලේ තිබුණු උත්සවය අවසන් වුණු පසු කොළඹ එන්න පිටත්වුණා. 

ඒ අවස්ථාවේ මාත් ඔහුත් සමග කොළඹ ආවා. 

ඒ අවස්ථාවේදී නම් ඔහු මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියට කතා කරලා තමන්ගේ ඇඳුම් බෑග් අරලියගහ මන්දිරයට එවන්න කියලා ප්‍රකාශ කළා. 

එදා තමයි ඔහු අරලියගහ මන්දිරයට තමන්ගේ ඇඳුම් අරගෙන ආවේ එතැන් පටන් දින 53 ක් ඔහු සටන් කළා. 

ඔහු ඒ අවස්ථාවේදී එසේ ක්‍රියා කළේ රටේ වැළලීයාමට නියමිතව තිබු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් නමුත් මේ දේවල් ඔහු තැන් තැන්වල කියවා කියවා ගියේ නෑ.

දැන් ඉතින් සමහර අය මගෙන් අහනවා තාමත් ඇයි රනිල් ළඟ හිටගෙන ඉන්නේ කියලා. 

හිට ගත්තේ දැන් මම ඉහතින් කිව්ව හේතු නිසා අද විතරක් නෙමෙයි හෙටත් හිටගෙන ඉන්නේ ඔහුත් එක්ක අදටත් මේ රට ආරක්ෂා කරන්න පුලුවන් එකම ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මහතා  විතරයි.

ඒක අපි හොඳටම දන්නවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න අනාගතයේදී පුලුවන් වුණාටල එය අතීතයට බලපාන්නේ නෑ.

ඒ වගේම අද ගොඩක් දෙනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් සහ ඔවුන්ගේ ආරක්ෂාව ගැන කතා කරනවනේ. 

මම මේ අවස්ථාවේදී මේ ගැනත් වචනයක් ඔබට මතක් කරන්නම් ඔබේ දැනගැනීම වෙනුවෙන් මේක තමයි ව්‍යවස්ථාවේ තිබෙන යථාර්තය මම හිතනවා රජය මේ සඳහා අවධානය ලබා දුන්නොත් හොඳයි කියලා.

කරන්න බැරි දේවල් රජය විසින් කියන්නේ නැත්තම් හොඳයි.

"36 (2) යම් තැනැත්තෙකු විසින් ජනාධිපතිධුරය බාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරන පරිදි වැටුප් සහ දීමනා ලැබීමටද ඉන් පසු එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප ලැබීමටද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය. 

පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක් මෙම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමක් නැතහොත් ප්‍රතියෝජක කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනුකූලවන පසුව පනවන ලැබූ යම් නීතියක් හෝ ඒ නීතිය යම් විධිවිධානයක් අතීතයට බල නොපාන්නේය. 

ඉතින් ඒ කියන්නේ කිසිම ජනාධිපතිකෙනෙක්ගේ හිමිකම් නැති කරන්න බැහැ.

ඒ වගේම තව එකක් තියනවා ජනාධිපතිධූරය දරන තැනැත්තා වැටුප් හෝ දීමනා විශ්‍රාම වැටුප් හිමකම් පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් වැඩි කළ හැක්කේය. 

එහෙත් එම වැටුප් දීමනා විශ්‍රාම වැටුප් හෝ හිමිකම් අඩු නොකළ යුත්තේය. 

අපරාදේ මේක හරියට කියවගත්තා නම් ආණ්ඩුවට වෙලාව නාස්ති කරන්න දෙයක් නැහැ.