Friday, February 21, 2025

General line - 0115112241

අධික රස්නය නිසා පානීය ජල සැපයුමටත් බාධා



පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම අවදානමක් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවයි.

උෂ්ණාධික බව හේතුවෙන් ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සම සේ බෙදාහැරිය යුතුයි.

එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවම කර අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

මෙවැනි තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදි අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන්. 

මෙම අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.