Friday, March 29, 2024

General line - 0115112241

පාතාල කල්ලි කිහිපයක් යළි හිස ඔසවයි




පාතාල කල්ලි කිහිපයක් නැවත හිස ඔසවා ඇතැයි පොලිස් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙනවා.

ඒවායින් හයක් නම ගිය ප‍්‍රධාන පෙලේ පාතාල නායකයන් යටතේ බස්නාහිර පළාතේ ක‍්‍රියාත්මකයි.

දෙමටගොඩ චමින්ද, බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත්, දූනගහ සුජී, සමයං සහ අංගොඩ ලොක්කා එම පාතාල නායකයන් වනවා.

මොරටුව අඟුලාන ප‍්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අලුතින් ආරම්භ වී තිබෙන බවයි පොලිස් බුද්ධි අංශ වෙත වැඩිදුරටත් වාර්තා වී තිබෙන්නේ.

කලක් ප‍්‍රබල පාතාල නායකයෙකුව සිටි මොරටු සමන්ගේ ගෝලයෙකු බව කියන අඟුලානේ රොහා සහ තවත් අයෙකු එම පාතාල කල්ලි දෙකට නායකත්වය ලබා දෙනවා.

මාදුවේ පොඩි සාගර විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලියක් මීගමුවේ ද, වැලිවිට සුදා විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලියක් කඩුවෙල ප‍්‍රදේශයේ ද ක‍්‍රියාත්මක වන බව සඳහන්.

කිඹුලාඇලේ ගුණා විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලියක් කිඹුලාඇල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මකයි.

දකුණු පළාතේ ක‍්‍රියාත්මක පාතාල කල්ලි 13 ක් පිළිබඳව ද පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.

ඒවායින් හතරක් ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රධාන පෙලේ පාතාල නායකයින් යටතේයි. පොඩි ලැසී, පොඩි සුජී, කුඩු චමී සහ මදූෂ් එම පාතාල නායකයින් වනවා.

පුබුදුමුණි උදිත ලක්ෂාන් ද සොයිසා (38) නොහොත් රත්ගම විදුර, මුරුක්කකු වාදුර වසන්ත ද සොයිසා (23) නොහොත් වසා, අකිල නිරෝෂන් පල්ලියගුරුගේ (37), රසික ප්‍රබාත් ප්‍රියදර්ශන සේනානායක (39), අමිල නිරෝෂන් රාජපක්ෂ (36) නොහොත් ආමි අමිල, ගීගනගමගේ අමරසිරි (48) නොහොත් ජුලන්පිටියේ අමරේ, කලුහැන්නදිගේ ධනුක විරාජ් (25) නොහොත් ධනුක, උදය වික්‍රම මනම්පේරිගේ රුවන් කුමාර (38) නොහොත් නේවි රුවන්, අතුල ඔක්ස්ෆඩ් රත්නායක (46) නොහොත් ගලගොඩ අතුල අනෙකුත් හඳුනාගෙන ඇති පාතාල නායකයින් වනවා.

හඳුනාගෙන තිබෙන සෑම පාතාල කල්ලියකම පාහේ නායකයන් වයස අවුරුදු විස්සත් හතළිහත් අතර පසුවන්නන්. ඔවුන්ගෙන් හය දෙනෙකු පොලිස් විශේෂ ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටිනවා. පාතාලය මැඩීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මකයි.

බස්නාහිර පළාත තුළ ක්‍රියාකාරී පාතාල නායකයින් ලෙස චමින්ද රවී ජයනාත් (37) නොහොත් දෙමටගොඩ චමින්ද, සංඛ ශිරන්ත (33) නොහොත් බ්ලූමැන්ඩල් සංඛ, සම්පත් චාමර (35) නොහොත් ආමි සම්පත්, අමරසිරි ආරච්චිගේ සුජිත් ක්‍රිෂාන්ත (38) නොහොත් දූනගහ සුජී, අරුණ උදයන්ත පතිරණ (29) නොහොත් සමයං, මද්දුම ලක්ෂාන් චන්දන පෙරේරා (30) නොහොත් අංගොඩ ලොක්කා යන අය හඳුනාගෙන ඇති අතර මේ අයගෙන් බොහෝ දෙනෙකු බන්ධනාගාර ගතව සිටිනවා.

මේ අතර බස්නාහිර පළාතේ ක්‍රීයාකාරී නොවන පාතාල සමාජිකයන් 03 දෙනෙක් පිළිබඳවත් පොලිසිය මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මානික්කුගේ සුමිත් දයාරත්න (39) නොහොත් මාදුවේ පොඩි සාගර, තලගල සුගත් කිත්සිරි නොහොත් වැලිවිට සුගත්, සින්නයියාගුණසේකරම් නොහොත් කිඹුලා ඇලේ ගුණා බස්නාහිර පළාතේ ප්‍රබල පාතාල නායකයින් වූවත් ඔවුන් මේ වන විට ක්‍රියාකාරී මට්ටමේ නොමැති බවයි වාර්තා වෙන්නේ.