Thursday, April 18, 2024

General line - 0115112241

ඊළඟ ඡන්දෙටත් ශ‍්‍රීලනිපය සන්ධානයකින්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ද තරග වදින්නේ තනි කණ්ඩායමක් ලෙස නොව සන්ධානයක් ලෙස බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. ගාල්ලේ පැවති උත්සවයකදී ඔහු ඒ බව පැවසුවා.

“ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඉල්ලන්නේ ආණ්ඩුව හැටියට නෙමෙයි. ආණ්ඩුව හැටියට ආණ්ඩුව තියෙනවා. රට වෙනුවෙන් ආණ්ඩුවක් කරනවා.

හැබැයි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට , අපේ පක්ෂයට ගැලපෙන , රට වෙනුවෙන් එකතුවෙන අනෙකුත් දේශපාලන පක්ෂ සන්ධානගත කරගෙන දැවැන්තම දේශපාලන සන්ධානය හැටියට”.

විවිධ මත දරන කණ්ඩායම් එක්කර ගනිමින් සාමූහිකව වැඩ කිරීමට ඉතිහාසය විසින් ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පුහුණුවක් දී ඇතැයි මෙහිදී සිහිපත් කෙරුණා.

“පහුගිය ආණ්ඩුව අපි හැදුවේ හෙළ උරුමය වගේ සිංහල අන්තවාදී පක්ෂයත් හිටියා. එල් ටී ටී එකේ දෙවෙනියා වෙච්ච කරුණා අම්මානුත් හිටියා , අන්ත වාමාංශීක වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශලත් හිටියා , එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ වෙච්ච ඩී එස් සේනානායක මහත්තයාගේ මුණුබුරත් හිටියා , ගාමිණී දිසානායක මහත්තයාගේ පුතත් හිටියා , මේ කියන වර්ග බැලුවොත් දේශපාලන වශයෙන් හැම වර්ගයම හිටියා , නමුත් කාටවත් ගිලගන්න බැරිවුණා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් ශක්තිමත් වුණා , ඒ දර්ශණය දැන් අවුරුදු 65ක් වෙලා මරන්න බැරිවෙලා තියෙනවා දවසින් දවස ශක්තිමත් වෙලා තිබෙනවා”.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග වදින්නේ ‘අත’ ලකුණින් බවට ද මේ වන විට මතයක් ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත් සන්ධානගත වූ මීට පෙර අවස්ථා කිහිපයකදී ඔවුන් තරග වැදුණේ ‘අත’ ලකුණින් නොව වෙනත් පොදු ලකුණක් යටතේයි.